ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද

860

පැමිණිලි විමර්ශනය නොකිරීම ගැන සී. අයි. ඩීයේ ඕඅයිසීට නොතීසි

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන තිබියදීත් ඒ බව සඟවා ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබියදීත් ඒ ගැන විමර්ශන සිදු කිරීමට අසමත්වීම පිළිබඳව ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (27 දා) නියෝග කළේය.

ඇය ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පත හා උප්පැන්න සහතිකය ව්‍යාජ බවට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් සාක්‍ෂි ලබාදී තිබියදීත් ඒ බව අධිකරණයට වාර්තා කිරීම පමණක් සිදුකර විමර්ශන සිදු නොකිරීම ඉතාම බරපතළ රාජකාරි පැහැර හැරීමක් වන්නේ යැයි පවසමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කළ කරුණු දැක්වීම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සිය සේවාදායකයා වන ලක්මාල් හේරත් විසින් පසුගිය වසරේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ල අනුව 2021.03.09 අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා වැඩිදුර විමර්ශන සිදු කිරීම මගහැර ඇති බවත් සැකකාරියගේ දේශපාලන හා ධන බලයට යටවී විමර්ශන නිලධාරීන් කටයුතු කළත් අසරණ මිනිසෙකුට එරෙහිව සුළු පැමිණිල්ලක් ලද සැණින් කනට ගසා බෙල්ලෙන් අල්ලාගෙන විත් කූඩුවට දමන බවත් නීතීඥ ගුණරත්න මහතා අධිකරණයට පැවසීය.

නීතීඥ තුසිත ගුණසේකර මහතා ඇතුළු නීතීඥ මඬුල්ලක්ද අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment