ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව කොළඹ ඉසිපතනයට

180

තරග 34 ක් ආශ්‍රිතව ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් රග්බි පාපන්දු තරගාවලියේ ලීග් ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ ඊයේ (14දා) සවස සමත් වූහ.

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව කොළඹ ඉසිපතනයට

තම අපරාජිත බව මෙවර තරගාවලිය පුරා ආරක්ෂා කර ගනිමින් අදාළ ලීග් ශූරතා කුසලානය තහවුරු කර ගැනීමට ඉසිපතන විදුහල සමත් වීම විශේෂත්වයක් ගත්තේය. දිවයිනේ ප්‍රමුඛතමපාසල් 12 ක සහභාගිත්වයෙන් මෙවර ප්‍රමුඛ පෙළ තරගාවලිය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු අතර එහි සෑම තරගයක්ම රග්බි පාපන්දු ක්‍රීඩාවට ආලෝකයක් එක් කර තිබීම කැපී පෙනුණි.

කොළඹ ඉසිපතන සහ කොළඹ රාජකීය යන දෙපිල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක සටනේ දී තම සංවිධානාත්මක ක්‍රීඩා රටාව මැනවින් ප්‍රදර්ශනය කරමින් ලකුණු 21 – 15 ක විශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන්ට ඊයේ (14දා) හැකියාව ලැබිණ.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 10 – 06 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් වුවද දෙවන භාගය ආරම්භ වීමත් සමගම මනා සංවිධානාත්මකව තරගයට අවතීර්ණ වූ බවක් ඉසිපතන ක්‍රීඩකයන් වෙතින් දිස් විය. ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව ඒ අතරේ කැපී පෙනුණි.

ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 03 ක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් විය.

පරාජිත රාජකීය පිල ගෝල් දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ආශ්‍රිතව තම ලකුණු එකතුව සටහන් කර ගත්තේය.

කොවිඩ් 19 ව්‍යවසනය හේතුවෙන් දෙවසරකට පසුව ක්‍රියාත්මක කෙරුණු ඩයලොග් ලීග් ශූරතා රග්බී පාපන්දු තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන්ට හැකි වූයේ ප්‍රතිවාදී සෑම පිලකටම වඩා ඉදිරියෙන් පසු වීමෙන් වීම ද විශේෂත්වයකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment