ඩයලොග් පාසල් ලීග් රග්බි තරගවලිය

151

ශාන්ත ජෝසප්, රාජකීය, වෙස්ලි සහ විද්‍යාර්ථයෝ ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ඩයලොග් අභියෝග කුසලාන ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියේ තරග ආශ්‍රිතව ජයග්‍රහණ හටහන් කර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල, කොළඹ රාජකීය විදුහල කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලියේ අපරාජිත වීරයන්ගේ සටනක් ලෙස මහනුවර පල්ලෙකැලේ දී ක්‍රියාත්මක කෙරුණු ත්‍රිත්ව විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර තරගය මේ අතරේ කැපී පෙනුණි. එහිදී ත්‍රිත්ව විද්‍යාලයීය අපරාජිත වාර්තාව බිඳ දැමීමට සමත් වූ ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය ලකුණු 05 ක පරතරයකින් සටහන් කර ගත්තේය. ඒ අනුව මෙවර තරගාවලියේ එකම අපරාජිත පාසල බවට පත්වන්නට ශාන්ත ජෝසප් විදුහලට හැකි විය.

සහෘදත්වයේ ප්‍රතිමල්ලවයන් ලෙස වාර්ෂිකව පිටියට අවතීර්ණ වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර තරගයෙන් ලකුණු 12 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට රාජකීය විදුහල සමත් වීම ද ඉකුත් සෙනසුරාදා (16) කැපී පෙනුණි.

ශාන්ත ජෝසප් ලකුණු 20
ත්‍රිත්ව විදුහල ලකුණු 15

පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු ශාන්ත ජෝසප් සහ ත්‍රිත්ව දෙවිදුහල් අතර තරගයෙන් ලකුණු 20 – 15 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 17 – 08 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත ජෝසප් විදුහලට හැකියාව ලැබිණි.

ජයග්‍රාහක ශාන්ත ජෝසප් පිල තම ලකුණු පුවරුව ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් ආශ්‍රිතව ඉහළ නංවා ගත් අතර පරාජිත ත්‍රිත්ව විදුහලේ ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගින් එක් සාර්ථක දඬුවම් පහරක් මගින් වාර්තා විය.

රාජකීය විදුහල ලකුණු 20
ශාන්ත තෝමස් ලකුණු 08

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති රාජකීය විදුහල සහ ශාන්ත තෝමස් විදුහල අතර තරගයෙන් ලකුණු 20 – 08 ක පහසු ජයග්‍රහණයක මිහිරි රස පානය කිරීමට සත්කාරක රාජකීය විදුහලට හැකි විය.

තරගයේ ප්‍රථම භාගය නිමාවන විට ලකුණු 10 – 03 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහලට හැකි වූ අතර එම තත්ත්වය දෙවන භාගය තුළ ද රඳවා ගනිමින් අදාළ ජයග්‍රහණය සටහන් කර ගැනීම කැපී පෙණුනි.

විද්‍යාර්ථ විදුහල ලකුණු 17
ධර්මරාජ විදුහල ලකුණු 08

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ විද්‍යාර්ථ සහ ධර්මරාජ දෙවිදුහල් අතර තරගය ලකුණු 17 – 08 ක් ලෙස ජය ගැනීමට විද්‍යාර්ථ විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රථම භාගය අවසාන වන විට ලකුණු 07 – 00 ක් ලෙස විද්‍යාර්ථ පිල පෙරමුණ ගත්තේය.

වෙස්ලි විදුහල ලකුණු 38
විද්‍යා විදුහල ලකුණු 10

කොළඹ සී. ආර්. ක්‍රීඩාංගණයේ දී පැවත් වූ වෙස්ලි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර තරගය ලකුණු 38 – 10 ක් ලෙස ජයග්‍රහණය කිරීමට වෙස්ලි ක්‍රීඩකයන්හට හැකි වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24 – 05 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නට වෙස්ලි විදුහල සමත් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment