ඩලස් කියයි – සජිත් නෙළයි – අනුර රවයි… ආණ්ඩුව සූදානම් පුංචි ඡන්දය අවදානම්!

460

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ද නැතහොත් අඩු ආදායම් ලබන රටක් ද යන්න පිළිබඳව ආණ්ඩුව තුළ ම පරස්පර විරෝධතාවක් තිබෙන බව පැහැදිලියි. උග්‍ර ආර්ථික පීඩනයකට හසුව තිබෙන රටක් කිසිසේත් මැදි ආදායම් රටකැයි කිසිවකුට පිළිගත නොහැක. ආණ්ඩුවට වුවද ජාත්‍යන්තරයෙන් ආර්ථික සහන, ණය ආදිය ලබාගත හැකි වන්නේත් රට පිළිබඳ සැබෑ චිත්‍රය දැක්වීමෙන් පමණි. කුමක් වුවත් මේ වර්ගයේ වචන හරඹවලට හපන්නු අපට සිටිති. කලකට පෙර මේ රටේ පාරිභාෂික වචන සැදූ එවක ආණ්ඩුවේ සිටි නිලධාරීන්ගේ හපන්කම් ගොන්කම් ලෙස විවේචනයට ලක් වූ ආකාරය ද මෙහිදී සිහිපත් වේ. එදා අපේ පාරිභාෂික පඬිවරුන්ට අනුව ‘හෝදාපාළුව’ පාංශු ඛාදනය විය. සාමාන්‍ය ජනවහරේ එන පොල්තැලිය හැඳින්වීමට මේ පාරිභාෂිකකාරයන් යෝජනා කළේ නාරිකේල මනිබද්ද පුෂ්ප චක්‍රය යන අපබ්‍රංශයයි. එදා වේවා ඒ ඒ දේශපාලනඥයන්ගේ හා ඔවුන්ට උපදෙස් දෙන අයගේ ද ගොන්කම් බව ජනතාවට තේරුම් ගතහැකි විය. අද සිදුවන්නේත් ඒ මෝඩ විහිළු සැපයීමක් විය හැකිය.

කෙසේ වුවත් අද මෙරටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද එකම කැඳහැළියක් වැන්න. ආර්ථිකය යනු දේශපාලනය සමග බැඳී තිබෙන එමගින් විසඳාගත යුතු දෙයකි. එහෙත් තවමත් රට දේශපාලන වශයෙන් වුවද ස්ථාවර වී ඇති බවක් අපට නම් නො පෙනේ. ආර්ථික වශයෙන් ඇති වී තිබෙන මේ අර්බුදයේ උපත දේශපාලන මුග්ධභාවයත්, ආර්ථික ක්‍ෂේත්‍ර ඒ දේශපාලන මෙහෙයුම්වලට හසුවීමත් නිසා සිදු වූ බව කවුරුත් දනිති. ගෝඨාභය පාලනයේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා මෙරටේ කෘෂිකර්මාන්තයේ ජීවය බඳු වී ගොවිතැන එහෙමපිටින් ම කඩාවැටුණි. වී ගොවියන්ට කුඹුරු එපා කරවූ ඒ ගෝඨාභයගේ හිතුවක්කාර තීරණ අද ආපසු හරවා තිබුණත්, ගොවි ජනතාවගේ ඉරණම වෙනස් වී නැත. ගොවියා සරණාගතයකු බවට පත් කළ ආණ්ඩුවට තවමත් ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට ද නොහැකි වී තිබේ. මේ වනවිටත් වී අස්වනු විකුණාගත නො හැකිව පිරිසක් සිටින අතර තවත් ගොවීන්ගේ චෝදනාව වී ඇත්තේ මහ කන්නයට හෝ පොහොර ප්‍රමාණවත් ලෙස නො ලැබෙන බවය.

පේරාදෙණි විශ්වවිiාලයේ මහාචාර්ය අශෝක අතුකෝරළ ඇතුළු ආර්ථික අධ්‍යයන අංශයේ විද්වතුන් විසින් කරන ලද අලුත්ම සමීක්‍ෂණයකට අනුව අද මෙ රටේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතාවකට හෙවත් දුගී භාවයට පත්ව සිටින බව හෙළිවී තිබේ. ලංකාවේ ජනගහනයෙන් මිලියන හයක් කුසගින්නේ සිටින බවට පළ වූ යුනිසෙෆ් වාර්තාවක් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කළවිට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා යෝජනා කළේ ඒ තොරතුරුවල ඇත්ත නැත්ත බලා ගැනීමට නම් ගෙවල්වල බත් මුට්ටිය පරීක්‍ෂා කළ යුතු බවය. කොහොමටත් මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් එබඳු විවේචන නුරුස්සති. ඔවුන් හිතන්නේ ජන ජීවිත එතරම් අර්බුදයකට ලක් වී නො මැති බවය. එහෙත් මෙරටේ ඇති වී තිබෙන ආහාර උද්ධමනය, දරිද්‍රතාව පැතිරයෑම වැනි කරුණු සරල නැත. ඇත්ත වශයෙන්ම ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද අද ඉතා අසරණව සිටිති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක් හෝ ජනතාවට ලබාදීමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැත.

ඩලස් කියයි - සජිත් නෙළයි - අනුර රවයි… ආණ්ඩුව සූදානම් පුංචි ඡන්දය අවදානම්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද ඇතැම් කාලීන අදහස් හා ප්‍රතිපත්ති පිළිබඳ විවේචන සිදු වුවත් ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීමට ලැබෙන සහායක් නැත. එයට එක් හේතුවක් වන්නේ ඒ සමහර දේවල් සඳහා එදා ඔහුගේ දායකත්වය ද ලැබී තිබීමය. මේ රට ගොඩනැඟීමට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඔහුගේ අගනා යෝජනාවකි. සැබැවින් ම අපට ස්ථිරසාර ජාතික ප්‍රතිපත්ති මාලාවක් නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ද වෙනස් වන ප්‍රතිපත්ති නිසා මේ රටට බරපතළ ම හානියක් සිදු වී තිබේ. මේ රට විනාශ වීමේ මූලික හේතුව ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයක් නො ලැබීමය. පැනසර නොවන නිරිඳුන් ලබන රජ සැපත ගොරතර මහා දුකකටත් වැඩි විපතක් යන සුභාෂිතය කෙතරම් නිවැරැදි දැයි ඉකුත් වසර හැත්තෑවකට වැඩි දේශපාලනයේ යම් යම් කාල සීමා දෙස බලද්දී මනාව තහවුරු වේ.

ලංකාවේ දේශපාලන ව්‍යසනය ගැන කිසිවකුට අමුතු අටුවා ටීකා අවශ්‍ය නැත. අද තියෙන්නේ ගල් පිළිම වෙනුවට බොල් පිළිම වන්දනා කරන තුච්ඡ දේශපාලනයකි. මේ පාර්ලිමේන්තුවේ සිටින 225 ම එපා යැයි ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරය විසින් තහවුරු කරන ලද තේමා පාඨය විය. එහෙත් මේ වනවිට සිදු වී තිබෙන වෙනස කුමක්ද? ඒ විරෝධතාවට එක් වූ පොදු ජනතාව ද අපේක්‍ෂා කළේ දැන් ඉතින්වත් යම් වෙනසක් සිදුවිය හැකි බවය. අඩුම තරමින් ජනතා විරෝධයට ලක් වූ අය වෙනුවට අලුත් මුහුණු හෝ ඉදිරියට එනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද? එදා නැඟුණු රාජපක්‍ෂ විරෝධයෙහි එකම ගොදුර ගෝඨාභය පමණක් ද? දැන් යළිත් කරළියට පැමිණ ඇත්තේ අලුත් පිරිසක් ද? ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී විමල් කී ලෙසම සිදුවූයේ මැච් එක දිනුවත් කප්එක අහිමිවීමක් ද? සැබැවින් ම අද ගෝඨාභය හැර ඔහු සමග සිටි බහුතරයක් යළිත් මේ පාලනයෙහි ප්‍රබලයෝ බවට පත්ව සිටිති. පදවි තනතුරු වෙනස් වුව ද ඒ බොහෝ දෙනෙක් රට මෙහෙයවීමේ කාර්යයට එක් වී සිටිති.

ජනාධිපති රනිල් පසුගිය දිනක ප්‍රකාශ කළේ මීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර ඒ ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හරි අඩකින් කපා හැරිය යුතු බවය. එනම් මේ වනවිට සිටින 8000ක පමණ මන්ත්‍රී සංඛ්‍යාව 4000ක් දක්වා අඩු කළ යුතු බවය. මේ මන්ත්‍රීවරුන් වැඩි කළෙත් එදා රනිල් අගමැතිවරයාව සිටි පාලනයකදී ය. එවක ජනාධිපතිව සිටි මෛත්‍රී මෙයට විරුද්ධ වූ බව ඔහු මාධ්‍යවලට පවසා තිබේ. කුමක් වුවත් කුඩා රටක් වන ලංකාවේ පළාත් පාලන, පළාත් සභා මෙන්ම පාර්ලිමේන්තු වැනි ආයතන ව්‍යුහය තුළ මහජන මුදලින් නඩත්තු වන දහදහසකට ළංවන පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස සිටින බව රහසක් නොවේ. මේ සියල්ලෝම දේශපාලන වරප්‍රසාදවලට අඩු වැඩි වශයෙන් හිමිකම් කියති.

ජනාධිපති රනිල්ට පළාත් පාලන ආයතනවල නියෝජනය බරක් ලෙස පෙනී ගියත් ඔහුගේ ඇමැති මණ්ඩලය පිළිබඳව එබඳු ප්‍රශ්නයක් නොවීම ද පුදුමයකි. ඒ පිළිබඳව තිබෙන විවේචන ඔහුට නො ඇසෙයිද? කුමක් වුවත් මේ දේශපාලන ක්‍රමය නඩත්තු කරන ජනතාව තුළත් කිසිම ආයතනයක් හෝ බොහෝ පුද්ගලයන් ගැන හෝ ප්‍රසාදයක් ද නැත. අද ප්‍රාදේශීය දේශපාලනය කුණු වී තිබෙන ආකාරය ජනතාව දනී. පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් පිළිබඳව වුවද අද තිබෙන විවේචන අප්‍රමාණය. රාජපක්‍ෂ පාලනයේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ද විවේචන එල්ල වී තිබෙන බව ද රහසක් නොවේ. මෑතක දී නිල වශයෙන් තහවුරු වූ දූෂිත සිද්ධියක් පිළිබඳ කොළොම්බියා ප්‍රදේශයේ අධිකරණයකින් ද වාර්තා විය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ 2008 – 2014 කාලයේ දී එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් කරන ලද වංචාවකි.

මෙබඳු මහා පරිමාණ වංචා, අයථා ගනුදෙනු රටක සිදුවීමත් ඒවාට පාලකයන්ගේ නිහඬ ප්‍රතිචාර ලැබීමත් ජනමාධ්‍යවල දැඩි විවේචනවලට තුඩු දී තිබේ. එහෙත් ඒවාට එරෙහිව ගත් පියවරක් නැත. පාර්ලිමේන්තු කෝප් සභාව ඉදිරිපිට අනාවරණය වූ විවිධ අක්‍රමිකතා – දූෂණ වාර්තා වුවත් ඒවා මාධ්‍යවල දැක්වෙන ප්‍රවෘත්ති පමණක් වී තිබේ. අල්ලස, වංචාව, හොරකම අද සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ යැයි සමහරු පවසති. මේ වනවිට ආන්දෝලනයකට තුඩු දී තිබෙන ගල් අඟුරු ටෙන්ඩරය ගැන සත්‍යය කුමක් ද? එයට අමතරව මුළු රටේ ම නොවුවත් විශාල ජනතාවකගේ හෘද ස්පන්දනය මොහොතකට නතර වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ චෞර රැජිනියකගේ කෝටි සංඛ්‍යාත මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියෙහි සත්‍යය කුමක්ද? දැනට ඒ හා ඈඳී තිබෙන විවිධ දේශපාලන හා වෙනත් නිල බලවලින් තහවුරු වන්නේ ද රටක් වශයෙන් අප වැටී සිටින අගාධයෙහි බිහිසුණු බව නොවේද? මේවා අධිකරණයකින් තහවුරු විය යුතු බව සත්‍යයකි. එහෙත් මේ චෞර රැජිනියට රැකවරණ දී ඇත්තේ දේශපාලනය බවට තිබෙන චෝදනා ප්‍රතික්‍ෂේප කළ හැකිද?

1977 දී ජේ. ආර්. ජයවර්ධනට සුවිශේෂ ජනවරමක් හිමි වූයේ 70 – 75 කාලයේ තිබූ සමගි පෙරමුණු ආණ්ඩුවේ දුබලතා නිසාය. එදා ඒ ආණ්ඩුව යටතේ දේශපාලනික වශයෙන් යම් යම් සාධනීය දේවල් සිදු වුවත් ඒ ආණ්ඩුවලට රිංගා ගත් අපතයන් නිසා මැතිනියගේ පාලන සමය කිළිටි කළ සිදුවීම් ද විය. එහෙත් මෙරටේ සමාජ, දේශපාලන හා සංස්කෘතික සියලු ක්‍ෂේත්‍රයන් සෝදාපාළුවට ලක් වූයේ ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය නිසා බව අද පිළිගනු ලැබ ඇත. එම ව්‍යවස්ථාව එ.ජා.ප.ය දෙස බලා ජයවර්ධනගේ මිම්මට මසන ලද ඇඳුමක් බව දේශපාලන විචාරකයෝ කීහ. ඔහු විසින් ඔහුගේම ඉදිරි ගමන සඳහා එම ව්‍යවස්ථාවට ඇතුළත් කළ ජනමත විචාරණ ක්‍රමය අන්ත දූෂිත එකක් ලෙස පසුව භාවිත වූ ආකාරය ද කවුරුත් දනිති.

1982 වනවිට මේ රට පත්ව තිබුණු තත්ත්වය පිළිබඳ විග්‍රහයක් කළ හිටපු අග විනිසුරුවරයකු වූ නෙවිල් සමරකෝන් දක්වා තිබුණේ තමන් අග්‍රවිනිශ්චයකාර ධුරය දැරූ පස් වසර තුළ උසාවි කාර්ය මණ්ඩලයට පවා විරුද්ධව අල්ලස් චෝදනා නොනැඟුණු සතියක් නොවූ තරම් බවත්, දූෂිතයන්ට ආරක්‍ෂාව සලසනු ලබන නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණු බවත් ය. නෙවිල් සමරකෝන් යනු ජයවර්ධන යුගයේ එම ධුරයට කළ ආන්දෝලනාත්මක පත්වීමක් බව ද කියති. කුමක් වුවත් අද වනවිට උඩුදුවා තිබෙන බියෙන් සැකයෙන් තොරව සිදුවන අල්ලස්, වංචා, දූෂණ අයථා ක්‍රියාකාරකම් මේ රටට ම ශාපයක් වී තිබෙන අයුරු කවුරුත් දනිති. ජයවර්ධන යුගයේ ජනමත විචාරණය මගින් පාර්ලිමේන්තු කාලය ද තවත් හය වසරකට දීර්ඝ කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගත් ආකාරය ද රහසක් නොවේ.

කෙසේ හෝ ජනාධිපති රනිල්ගේ මතකය තුළ එදා තම සමාරම්භක දේශපාලන අත්දැකීම් ලෙස මේ බොහෝ දේවල් තැන්පත්ව තිබිය යුතුය. අද ඔහු ඒ ජනාධිපති ක්‍රමයත් එයින් හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් විය යුතු බව කල්පනා කිරීමට තරම් දේශපාලනිකව වියපත් වී සිටින බව ඔහු කරන සාධනීය යෝජනාවලින් පැහැදිලි වේ. එහෙත් සමහරුන් ඔහු දෙස සැක මුසුව බලන බව ද රහසක් නොවේ. පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීමට ඔහු කරන යෝජනාව එම මැතිවරණය කල් දැමීමට අටවනු ලබන කෙමනක් බවට දැඩි විවේචන තිබේ. ඩලස් ප්‍රමුඛ කණ්ඩායම ද ඒ සැකය සමාජගත කර තිබෙන අතර, යම් හෙයකින් එබඳු දෙයක් සිදුවුවහොත් අධිකරණයට යන බව ද කියති. මේ අතර නිදහස් ජාතික සභාවේ ආරාධනයෙන් එක් වූ විපක්‍ෂයේ සියලුම පක්‍ෂ (ජවිපෙ හැර) ඒකමතිකව එළැඹි තීරණය වූයේ ආණ්ඩුවේ උපක්‍රම පරාජය කළ යුතු බවය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන මැතිවරණ පැවැත්වීම ආරක්‍ෂා කර දිය යුතු බවය.

ඇත්ත වශයෙන් ම මේ වනවිට පවතින ආණ්ඩුවට ජනතා ප්‍රසාදයක් නැත. එහි තේරුම ඔවුන්ට ඡන්දයක් වුවමනා බවම නොවේ. එහෙත් මේ ආණ්ඩුවට මැතිවරණ සිතියම හකුළා දැමීමට අවශ්‍ය බව වටහා ගත් ජන කොටසක් ද සිටිති. එසේම බහුතර ජනයාට වුවමනා මේ ආර්ථික පීඩනය විසින් නන්නත්තාර කරන ලද තම ජීවිත ගොඩනඟා ගැනීමය. ආහාර, බෙහෙත්, ඉන්ධන, ගෑස් ආදිය මෙන්ම අධික භාණ්ඩ මිල අඩුකර ගැනීම ඒ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව තිබේ. පොහොට්ටුවේ අපේක්‍ෂාව ඒ ජනතා අපේක්‍ෂා ඉටුකිරීමට වඩා තමන් අතින් ගිලිහී ගිය බලය එක්රොක්කර ගැනීමත්, ඊළඟ මහ මැතිවරණයෙන් ඒ බලය යළි තහවුරු කර ගැනීමත් පමණි. පොහොට්ටුවේ නායක මහින්ද පසුගියදා පැවැති කළුතර ජනහමුවේ දී ප්‍රකාශ කළේත් තම පක්‍ෂය විසින් රනිල් යහමඟට ගන්නා ලද බවත්, ඔහු සමග මේ ගමන යා යුතු බවත් ය. එහෙත් මේ කතාවට එජාපයේ මහ ලේකම් රංග බණ්ඩාර දැක්වූයේ දැඩි විවේචනයකි. ඔහු කියා සිටියේ තම නායක රනිල්ට පින් සිදුවන්නට අද පොහොට්ටුව කලඑළි බැස සිටින බවය. රනිල් විසින් පොහොට්ටුව පුනරුත්ථාපනය කරන ලද බවය. කුමක් වුවත් තව බොහෝ දේශපාලන ප්‍රහසන මෙන්ම පුරසාරම් ද නුදුරු අනාගතයේදී දැක බලා ගැනීමටත් ඇසීමටත් ජනතාවට හැකිවනු ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment