ඩිජිටල් ගනුදෙනු ක‍්‍රමවෙවේද රටටම ප‍්‍රචලිත කිරීම

520

ලෝකයම ඩිජිටල්කරණය වෙමින් තිබේ. මේ අනුව රටවල ආර්ථික කටයුතු මෙන්ම ගෙවීම් ක‍්‍රමවේද ද වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. මේ අනුව ඩිජිටල් ආර්ථිකය, ව්‍යාපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය වැනි සංකල්ප ගැන ආර්ථික ලෝකයේ ද වැඩි අවධානයක් යොමුව තිබේ. මේ අනුව ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේද ප‍්‍රචලිත කිරීමේ උත්සාහයන් ලෝකය පුරාම සිදු වේ. දැනටමත් රටවල් රැසක් පොදු ක්ෂණික ප‍්‍රතිචාර කේත (QR code) හඳුන්වා දී තිබේ.QR යනු Quick Response හෙවත් ක්ෂණික ප‍්‍රතිචාර යන්නයි. මෙවැනි ක්ෂණික ප‍්‍රතිචාර කේත එම රටවල්වල හඳුන්වා දී දැනටමත් බොහෝ ප‍්‍රචලිතව ඇත. ඒවා තවදුරටත් ව්‍යාප්ත වෙමින් යන අතර බොහෝ ගනුදෙනු සිදු කිරීම සඳහා මේ ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේද භාවිතා වෙමින් තිබේ. මේ වන විට අපේ රටේ ද ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එහෙත් ඒ පිළිබඳ පොදු මහජනයා තුළ ඇති දැනුම අඩුය. ඒ නිසා මේවායින් ප‍්‍රතිලාභ ලැබීමට නම් මේවා රටටම ප‍්‍රචලිත කිරීමට පියවර ගත යුතුව තිබේ.

අපේ මහ බැංකුව ද මෙවැනි පොදු ක්ෂණික ප‍්‍රතිචාර කේතයක් (QR code) හඳුන්වා දෙමින් ආරක්ෂිත සහ කාර්යක්ෂම ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට උත්සාහ දරමින් තිබේ. මෙවැන්නක් ඉදිරියට ගෙන යමින් රටෙහි ආර්ථික සහ වාණිජ කටයුතු ඉහළ නැංවීමට ද මහ බැංකුව ප‍්‍රයත්න දරමින් තිබේ. මේ අනුව ලංකාවේ හඳුන්වා දී ඇත්තේ LANKAQR නම් කේතයයි. මෙය ඕනෑ ම වෙළෙඳ ව්‍යාපාරිකයකුට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අඩු වියදමින්, වේගවත්ව සහ ආරක්ෂිතව ඩිජිටල් ක‍්‍රමයට ගෙවීම් කිරීම සඳහා පහසුකම් සපයනු ලබන ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති පොදු ක්ෂණික ප‍්‍රතිචාර කේත ප‍්‍රමිතියකි. මෙය ලංකාවේ මහජනයා අතර තවමත් එතරම් ප‍්‍රචලිත නැත. මේ නිසා මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් අතර මේ ගෙවීම් ක‍්‍රමවේදය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් මෙම කේතය රටටම ජනගතකරණය කිරීම පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ශ‍්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ දී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප‍්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සිදු විය. මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ මේ නව ගෙවීම් ක‍්‍රමවේදය පිළිබඳවයි.

මේ ලංකා ක්ෂණික ප‍්‍රතිචාර කේතය මගින් ගෙවීම් කිරීමට නම් ගනුදෙනුකරුවකු විසින් එම කේතය සහිත ජංගම ගෙවීම්ූ යෙදුමක් තම ජංගම දුරකථනයට භාගත කිරීමට සිදු වේ. එමගින් ගනුදෙනුකරුගේ බැංකු ගිණුම යොදා ගෙන සෘජුවම තම ජංගම දුරකථනයෙන් ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා ඇත. එම ගෙවීම ගනුදෙනුකරු ගෙවූ පසු ව්‍යාපාරිකයන්ගේ බැංකු  ගිණුමට ක්ෂණිකව බැර වේ. එවිට වෙළෙන්දාගේ ගිණුමට මුදල් ලැබීම සහතික කරමින් ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබේ. වෙළෙන්දන්ට සිය ව්‍යාපාරික ස්ථානයේ ප‍්‍රදර්ශනය කිරීමට මෙම කේතයේ මුද්‍රිත ස්ටිකරය එම කේතයේ සාමාජික ආයතන විසින් නොමිලේ ලබා දී ඇත. ඒවා ඇතැම් ස්ථානවල ප‍්‍රදර්ශනය කරමින් තිබෙන අයුරු ඔබ දැනටමත් දැක තිබෙනවා විය හැකිය. මෙම කේතය භාවිත කර ගෙවීම සඳහා, ගනුදෙනුකරු මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ජංගම ගෙවීම් යෙදුමක් භාවිත කරමින් LANKAQR  කේතය ස්කෑන් කළ යුතු වේ.

මහ බැංකුව විසින් සංවර්ධනය කරන ලද මේ පොදු ගෙවීම් කේතය ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම් පද්ධතියකි. දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික ක්ෂණික ප‍්‍රතිචාර කේත ප‍්‍රමිතියක් ස්ථාපිත කිරීම 2019 මාර්තු මාසයේ ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා මහ බැංකුව, බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම අරමුණු කොටගෙන මේ කේතය හඳුන්වාදීමට කටයුතු කළේය. පාරිභෝගිකයින්ට මෙම කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර ව්‍යාපාරවලට සහ සේවා සපයන ආයතනවලට ගෙවීම් කිරීමේ පහසුව මෙමගින් සැලසේ. මෙය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයක් වේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉහළම වෙළෙඳ වට්ටම් අනුපාතය (වෙළෙඳුන් විසින් මෙම කේතය නිකුත් කරන බැංකුවට ගෙවන මුදල) 2020 වර්ෂයේ දී සියයට 0.5 ක් ලෙස නියම කොට ඇත. මෙම කේතය භාවිතා කොට ගනුදෙනු කරන පාරිභෝගිකයින් වෙතින් කිසිදු අයකිරීමක් නොකරන අතර මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා කරනු ලබන සියලූ ගෙවීම් සඳහා ද නොමිලේ පහසුකම් සලසා ඇතැයි මහ බැංකුව පවසයි. මෙම ක‍්‍රමවේදය තුළින් ආර්ථිකයට අත්වන ප‍්‍රයෝජන සලකා බලා 2020 වර්ෂය අවසාන වන විට ව්‍යාපාර මිලියනයකට ආසන්න ප‍්‍රමාණයකට මෙම ගෙවීමේ පහසුකම බැංකු ආයතන විසින් ලබා දීමට කටයුතු කරනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු විය. එහෙත් එය ඉටුව නැත.

මෙවැනි ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේද ප‍්‍රචලිත වීම මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීමට සහ වාණිජ කටයුතු ශක්තිමත් කිරීමටත් ඒ තුළින් ආර්ථික කටයුතු වැඩි වීමටත් ඉවහල් වන බව සඳහන් කළ හැකිය. මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මශ‍්‍රී කුමාරතුංග මහතා, පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ලංකාකිව්ආර් භාවිතා කිරීමෙන් අත්වන විශේෂ ප‍්‍රයෝජන පසුගිය දා (25) පැවති උත්සවයේ දී පැහැදිලි කළේය. ශ‍්‍රී ලංකාවේ මෙම කේතය පදනම් කරගත් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ මෙම කර්තව්‍යය කිසිදු විදේශ සහායක් නොමැතිව සාමූහික ක‍්‍රියාකාරීත්වය තුළින් උදාකරගත් ප‍්‍රතිඵලයක් බවත් එය රටට විශාල ඉතිරියක් බවත් ඔහු පවසයි. මුදල් කළමනාකරණ පිරිවැය අඩු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප‍්‍රවේශය ඉහළ නැංවීම ඇතුළු ආර්ථිකයට ඩිජිටල් ගෙවීම්වලින් අත්වන ප‍්‍රතිලාභ තිබේ. සාමාන්‍ය ජනතාවට ද මේ ගැන දැනුවත් වී මේ නව ක‍්‍රමවේදවලට හුරු වීමෙන් ඉතා අඩු වියදමකින් ඉතා ආරක්ෂිතව සහ වඩා විශ්වාසදායී ලෙස මෙම ඩිජිටල් ගෙවීම්වල ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය. මේ අනුව LANKAQR  භාවිතයට ගැනීමට සියලූ ව්‍යාපාර හා රාජ්‍ය සේවාවන් දිරිමත් කර තිබේ. එහෙත් මේ කවර ගෙවීම් ක‍්‍රමවේද හඳුන්වා දුන්නත් මහජනයා මේවා භාවිතා නොකරනවා නම් ඵලක් නැත. මේවා භාවිතා කර ගෙවීම් කිරීමට නම් මහජනයාට ඒ ගැන දැනුම අවශ්‍ය වේ. ඒ නිසා මේවාට ව්‍යාපාර ආයතන සහ බැංකු පමණක් යොමු කිරීමෙන් නිසිඵල ලබාගත නොහැකිය. මාධ්‍යවේදීන් ලෙස අප නොදන්නා නමුත් මේවා ප‍්‍රචලිත කිරීමට මහ බැංකුව නොයෙකුත් දේවල් කරනවා විය හැකිය. එහෙත් මේ ගැන පොදු මහජනයා වඩාත් දැනුම්වත් කර ඔවුන් ඊට හුරු කිරීමට නිසි වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ. මේ පණිවිඩය මාධ්‍ය හරහා ජනයාට ප‍්‍රචලිත කළ හැකිය. මේ ගැන මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමට ද මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණකි. මේ ගැන මේ ලියුම්කරු ද නොයෙක් විට මහ බැංකුවට යෝජනා කර ඇත. මේ නව ගෙවීම් තාක්ෂණික ක‍්‍රමවේද ගැන මාධ්‍යවේදීන්ටත් නිසි දැනුමක් නැත්නම් ඔවුන්ට ඒ ගැන සිය මාධ්‍ය කටයුතු තුළින් ජනතාව දැනුවත් කරන්නේ කෙසේ ද?

මේ නිසා අපට සිදුව ඇත්තේ අපගේ උනන්දුවෙන් මහබැංකුවෙන් මේ ගැන තොරතුරු විමසා මේ ගැන ජනයා දැනුවත් කිරීමටය. එහෙත් අප නම් සිතන්නේ මේ ගැන මාධ්‍යවේදීන් විමසීමට පෙරම මේ ගැන පොදු මහජනයා දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මාධ්‍යවේදීන්ට පොදු දැනුවත් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවයි.

2020 ඔක්තෝබර් 10 දින රටපුරාම LANKAQR  නමින් වැඩසටහනක් දියත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය. මහජනතාවට සහ ව්‍යාපාරික ප‍්‍රජාවට මෙම අවස්ථාවට සහභාගී වී මෙම කේතය භාවිතය ආරම්භ කරන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටි නමුත් එහිදී ද වැඩි වශයෙන් වූයේ එම කේතයේ සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා සැපයුම්කරුවන් විසින් නව ව්‍යාපාරිකයන් LANKAQR  භාවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා කටයුතු කිරීමයි. ලංකාකිව්ආර් පොදු කේතයට අනුකූල ක්ෂණික ප‍්‍රතිචාර කේත මේ වන විට බැංකු රැසක් මගින් නිකුත් කර ඇත. ඒ අනුව මෙම කේතය මගින් ගනුදෙනු පහසුකම් සැපයීම සඳහා මේ වන විට මූල්‍ය ආයතන
21 ක් සමග ජංගම දුරකථන යෙදුම් 24 ක් මගින් පහසුකම් සලසා දී ඇත. ලංකා ක්ලියර් ආයතනය විසින් ජාලගත සේවා සැපයුම්කරු ලෙස මෙකී කටයුත්ත සඳහා තම සේවාවන් සපයමින් තිබේ.

ඩිජිටල් ගනුදෙනු ක‍්‍රමවෙවේද රටටම ප‍්‍රචලිත කිරීම


මෙම කේතය රටටම ජනගත කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ශ‍්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ දී පැවැති උත්සවයට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ආරාධනයෙන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. එසේම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඞී.වී. චානක මහතා ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. රජයේ දෙපාර්තමේන්තු සහ මූල්‍ය ආයතන ප‍්‍රධානීන් මෙන්ම වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ආයතන ප‍්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මෙහිදී නාමල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන් තවුරටත් ඩිජිටල් ගෙවීම් කරා යොමුවීම සඳහා එවැනි ගෙවීම් ක‍්‍රම භාවිතය වැඩි කළ යුතු බවයි. රටෙහි තාරුණ්‍යය සාම්ප‍්‍රදායික ගනුදෙනු ක‍්‍රම දිගින් දිගටම භාවිත කිරීමට වඩා ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේද කරා යොමු වීමට ඉතා කැමැත්තක් දක්වන බව ද ඔහු කීවේය. එබැවින් LANKAQR  ගෙවීම් ක‍්‍රමවේදය තරුණ පරම්පරාව අතර අතිශය ජනප‍්‍රිය වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය. එය එසේ වීමට නම් පෙර කී ලෙසම මහජනයා පුළුල් ලෙස මේ ගැන දැනුම්වත් කිරීමට ද පියවර ගත යුතු වේ. මේ ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේද රටටම ප‍්‍රචලිත කර ඒ ගැන මහජනයා හුරු කළ යුතු ද වේ. පසුගිය කාලයේ කොවිඞ් – 19 වසංගතයෙන් මහජනයා ඇති තරම් පීඩා වින්දේය. තවමත් එහි පීඩාවන්ට අපි මුහුණ දෙමින් සිටිමු. මෙවැනි කාලයක, මුදල් භාවිතය අවම කිරීමේ සහ ඩිජිටල් ගෙවීම් ක‍්‍රම වෙත යොමු වීම ඉතා වැදගත්ය. මේ කේතය ජනගතකරණ වැඩසටහන සමග මහජනතාව ඔවුන්ගේ දෛනික ගනුදෙනු සඳහා LANKAQR  ගෙවීම් යෙදුම හැකි සෑම විටම භාවිත කරනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි. අද සෑම කෙනෙක් අතම ජංගම දුරකථනයක් හෝ දුරකථන දෙකක් තිබේ. රටේ ජනගහනයටත් වඩා ජංගම දුරකථන තිබේ.

ඩිජිටල් ගනුදෙනු ක‍්‍රමවෙවේද රටටම ප‍්‍රචලිත කිරීම

ඒ නිසා මේ ක‍්‍රමවලට ජනයා හුරු කිරීම අපහසු නොවේ. මේ ගෙවීම් ක‍්‍රමවේදය ජංගම දුරකථන භාවිත කරමින් ඩිජිටල් ගෙවීම් පහසුවෙන් සිදු කළ හැකි ක‍්‍රමයකි. මෙය පාරිභෝගික ජනයාට පමණක් නොව ව්‍යාපාරිකයන්ට ද ඉතා අවම වියදමකින් තම ලැබීම් ඩිජිටල් ක‍්‍රමයට පාරිභෝගික ජනයාගෙන් ලබාගත හැකි ක‍්‍රමවේදයකි. දැන් අවශ්‍ය කරන්නේ මහ බැංකුවේ නායකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද දායක කරගනිමින් සහ මාධ්‍යයේ සහායද ලබා ගනිමින් පොදුජනයා මීට හුරු කරන වැඩසටහනකි. එය මෙතෙක් ප‍්‍රමාණවත් ලෙස සිදුව නැති බව අපගේ අදහසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment