ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා කිව්වට මැදමුලනේ පාසල්වලට පවා අන්තර්ජාල පහසුකම් නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

26

විවිධ අය වයින් ස්ටෝර්ස් පර්මිට් හා නොයෙක් වරදානවලට තීන්දු ගත හැකියි

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා කියා රජය පුරසාරම් දෙඩුවාට මැදමූලන රාජපක්ෂ වලව්වට ආසන්නයේ පවතින පාසල්වල පවා අන්තර්ජාල පහසුකම් නොමැති බවත් මොවුන් නෙළුම් කුළුණු හදන්න කලින් මේ පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කළ යුතුව තිබුණත් එසේ සිදු නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවිධ පාර්ශ්වයන් බියර් පර්මිට්වලට, වයින් ස්ටෝර්ස්වලට, වරදාන වරප්‍රසාද ආර්ථික ප්‍රතිලාභවලට විවිධ අය විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ ජරාජීර්ණ වූ පුද්ගලයන් සමග සිටිය නොහැකි බවත් සමගි ජන බලවේග රජයක් තුළ රජයේ සාමාජිකයන්ට සුරසැප විඳින්න නොහැකි බවත් ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කළ යුතු බවත් එසේ ජනතාව වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමේ ආදර්ශය නායකයා ලෙස තමා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30 දා) හම්බන්තොට, මුල්කිරිගල, ගෝණදෙනිය මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 210 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා පොත්පත් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ආබාධිත පුද්ගලයකුට රෝද පුටුවක් ද පරිත්‍යාග කළේය.

හොඳට ඉගෙන ගත් උපාධිධාරීන් මෙන්ම හොඳ අධ්‍යාපනයක් ලැබූ දූදරුවන් රැකියා පෝළිමේ නොව තම සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් ලබා ගැනීමට ඔවුන් යොමු කළ යුතු බවත් එය අපගේ යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තමා කතා කරන්නේ ඇත්ත බවත් තමා කිසි දින තමන්ගේ ඡන්ද මල්ල ගොඩ දා ගැනීමට සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන්නේ නැති බවත් සමහර අය මන්ත්‍රීකම් ඇමතිකම් ගන්න බොරු දේශප්‍රේමීත්වයක් නිර්මාණය කරනවා වුවත් සැබෑ දේශප්‍රේමීත්වය යනු දරුවන්ට හොඳ ගුණාත්මකභාවයෙන් ඉහළ ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් ලබා දීම බවත් ඊට අමතරව පවතින භූමියෙන් නව තාක්ෂණය උපයෝගී කර ගෙන ඉහළ ඵලදාවක් සහිත ගුණාත්මක අස්වැන්නක් ලබා ගෙන අපනයන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම ද දේශප්‍රේමීත්වය බවත් තමා විශ්වාස කරන්නේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ආදායම් මාර්ග ව්‍යවසායකත්ව ආදිය සෘජුව රටේ ජාතික ආරක්ෂාවට බලපාන බැවින් එය සුරක්ෂා කර ජනතාවගේ සුබසාධනය ශක්තිමත් කර රැකියා බිහි කරන බවත් ජාතික ආරක්ෂා යනු මිලිටරි ආරක්ෂාව නොව ඉන් ඔබ්බට ගිය දෙයක් බැවින් එය ශක්තිමත් කිරීමත් මෙම සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ පාසල් හා රෝහල්වලට අගයක් එකතු කරන විට තමා බෙදනවා කියමින් බනින බවත් මෙසේ බෙදන එක හොඳ නැහැ කියා බනින්නේ පෞද්ගලික පාසල්වලට තම දුවා දරුවන් මුදල් ගෙවා යවන, ජාත්‍යන්තර පාසල්වලින් උපාධි ගන්නා සමාජවාදීන් බවත් මොවුන් තමන්ගේ දරුවන්ගේ මට්ටමට රටේ දරුවන් පත්වේය කියා බියෙන් බෙදන එක වැරදියි කියමින් සිටින බවත් විප්ලවකාරී අය නිර්ධන පන්තිය රජ කරවීම ගැන කතා කළත් මොවුන් ඇති අයගෙන් අරගෙන නැති අයට ලබා දෙන විට නිර්ධය ලෙස විවේචනය කරමින් බනින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 210ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2338ක් වැය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment