ඩීඅයිජී ට බැරිනම් ඕනෑ ලොක්කෙකුට කියනවා කුඩු – අවි දමලා අපිව ඇතුළට දානව කිව්වා

810

‘සුනඛ’ පැමිණිල්ලකට ගිය යුවළක් කියන කතාවක්
රාජකාරියට බාධා කරමින් අපිට අඩම්තේට්ටම් කළා උසාවි දැම්මා.. ඔය චෝදනා බොරු – හොරණ HQI

‘තමුසේ ඩී. අයි. ජීට බැරිනම් ඕනම ලොක්කෙකුට කියනවා’ යැයි හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා තර්ජනය කර ස්වාමියා සහ තමාව බන්ධනාගාරගත කළ බවට හොරණ ප්‍රදේශයේ කාන්තාවක් විසින් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.

තමා සන්තකයේ සිටි සුනඛයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව විසින් මාස කිහිපයකට පෙර හොරණ පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසියෙන් ඒ සම්බන්ධව සාර්ථක විමර්ශනයක් නොවන නිසා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කිරීම හේතුවෙන් තමා සහ ස්වාමියා පොලිසියට කැඳවා හොරණ අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් ඇය විiුත් මාධ්‍යයකට සඳහන් කර තිබුණි.

මාධ්‍ය හරහා ප්‍රකාශයක් ලබාදෙමින් ඇය කියා සිටියේ තමාගේ සුනඛයා මාස පහකට පමණ පෙර නැතිවූ බවත් එම අවස්ථාවේ හොරණ පොලිසියට පැමිණිලි කළ බවත්ය. ඉන් සාධාරණයක් ඉටු නොවූ නිසා පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කළ බවද මාස කිහිපයකට පසු තමා යටතේ සේවය කළ පුද්ගලයකු සමාජ ජාලයක නැතිවූ සිය සුනඛයා සමඟ පෙනී සිටින ඡායාරූප දර්ශනය වූ අතර ඒ අනුව පොලිසියට ගොස් ඔහු සම්බන්ධයෙන් සොයාබලන ලෙස ප්‍රකාශ කළ බවද ඇය කියා කියා සිටී. පසුව එම පුද්ගලයාද පොලිසියට ගෙන්වා තමන් සහ ස්වාමියාද පොලිසියට කැඳවූ බවත් සුනඛයා හඳුනාගැනීමට ස්වාමියා සමඟ පැමිණෙන ලෙස හොරණ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන් අතර ඒ අනුව පැමිණි පසු පොලිසියේ පිරිසක් තම ස්වාමියා අල්ලා කූඩුවට දැමූ බවත් ඇය කීවාය.

තමා සහ සැමියා පොලිසියට පැමිණි අවස්ථාවේදී සුනඛයා නැතිවීම සම්බන්ධයෙන් ඉහළට පැමිණිලි කළාදැයි අසමින් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා තමන්ට තර්ජනය කළ බවත් ඇය කීවාය. එහිදී ආයුධ මත්කුඩු දමා උසාවියට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කරන බවට තර්ජනය කර සැමියා සහ තමා බන්ධනාගාර ගතකළ බවත්, ස්වාමියා තවමත් බන්ධනාගාර ගතව සිටින බවත් ඇය කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හොරණ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චින්තක පනාවල මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

ඔය කියන කාන්තාවගේ සුනඛයා නැතිවීම සම්බන්ධයෙන් පොලිසිය මගින් විමර්ශන සිදුකළා. ඒ අතර තමයි ඇය එයා ළඟ සේවය කළ අයෙක් තමන්ගේ නැතිවුණ සුනඛයා ළඟතබා ගෙන ඉන්නවා කියලා පොලිසියට ඇවිත් පැමිණිලි කළේ. ඒ අනුව අපි එම පුද්ගලයා සුනඛයා සමඟ ගෙන්වා කාන්තාවට සහ ඇයගේ ස්වාමියාට පෙන්නුවා. එහිදී එම සුනඛයා තමන්ගේ නොවන බවත්, කෙසේ වෙතත් සුනඛයා සහ සේවකයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ තමන්ගේ නොවන සුනඛයෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව පැවසීමෙන් පසු එම කාන්තාව සහ ඇගේ සැමියා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අඩම්තේට්ටම් කිරීම යටතේ උසාවියට ඉදිරිපත් කළා. එහිදී කාන්තාව දින 3 ක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට ඇපමත පැමිණියත් ඇගේ ස්වාමියා තවමත් බන්ධනාගාර ගතව සිටිනවා.

මෙම කාන්තාව මීට පෙර කුළී නිවැසියන් සමඟ ආරවුල් ඇතිකර ගෙන ඇඟ බැඳලා තියෙන කාන්තාවක්. ඒ වගේම මීට පෙර මෙම ස්ථානයේ රාජකාරි කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සමඟ ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් එම ස්ථානාධිපතිවරයා පොත්වල සටහන් යොදා තිබෙනවා. ඔවුන් දෙදෙනා පොලිසිය තුළ හැසිරුණු ආකාරය අනුව අපි නීතිමය පියවර ගත්තා. ඔය කාන්තාව කරන චෝදනා බොරු.’
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment