ඩීසල් නෑ,පොහොර නෑ… යල කන්නයට එළවළුත් නෑ, හාලුත් නෑ…

272

මල් වගාකරුවනුත් අමාරුවේ

සෆාරි ජීප් කොට උඩ

වතුරත් නෑ….. වගා කරන්න ක‍්‍රමයකුත් නෑ!

අපේ රට මේ වනවිට තිබෙනුයේ අර්බුද රැසක් හමුවේ මිරිකෙමින් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සෑම ක්‍ෂේත‍්‍රයකම පාහේ ජනජීවිත අවුලෙන් අවුලට පත්ව තිබෙන බව කිවහොත් නිවැරදිය. රටේ කිසිම භාණ්ඩයක් අඩුවට මිලදී ගන්නට නොමැති බවට මහජනයා මැසිවිලි නගති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළුව බඩුමිල දිනෙන් දින ඉහළයෑම සහ භාණ්ඩ හිඟය මහජනතාවට ඉතා තදින් දැනෙන කාරණයක් බව නොකිවමනාය. ඉන්ධන පිරවුම්හල් අසල දිග්ගැසෙන දිගු තෙල් පෝලිම් රටේ සෑම තැනෙකම වාගේ සුලබය. එපමණක් නොව එහි පොදිකන ජනයා ඒ පීඩාවෙන් එම පෝලිමේම මැරීවැටෙන ආකාරය සහ එකිනෙකා මිනීමරාගන්නා අන්දම හද සසල කරවන්නකි. මේ දිනවල නැවුම් පුවත් ලෙස අපට දකින්නට ලැබෙන්නේ මෙවැනි අමිහිරි සිදුවීම්ය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නට තෙරපෙන, පොරකන මහජනයාගේ පෝලිම් ගමේ, නගරයේ වෙනසක් නැතිව දක්නට තිබේ. වැඩිකළ මිලට හෝ ගෑස් සහ ඉන්ධන මෙන්ම වෙනත් භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳපොළේ නොමැතිවීම මහජනතාවගේ අසහනයට විශේෂයෙන්ම බලපා තිබෙන බව එම පාරිභෝගික ජනතාව තුළින් නැඟෙන විරෝධයන්ගෙන් පෙනීයයි. එපමණක් නොව දිවා රාත‍්‍රි දෙකෙහිම කෙරෙන විදුලිය කැපීම් ආදී මේ සියල්ලක්ම හේතුවෙන් අප රටේ මහජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල කරන බව නොරහසකි. මේ සියල්ලට මුල රටක් වශයෙන් අප මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය බව ඉතා පැහැදිලිය. රටේ ආර්ථිකය පමණක් නොව මහජනතාවගේ අතමිට හිඟවීමටද එය එහෙමපිටින් බලපා තිබේ. ඒ අනුව මේ නිසා පීඩාවිඳින පිරිස අතිමහත්ය. පෙරකී ඉන්ධන, ගැස් ඇතුළූ භාණ්ඩ මිලදී ගැනීමේ පෝලිම්වල රස්තියාදුවන මහජනතාව මෙරට ජනසමාජයේ විවිධ ෙක්‍ෂ්ත‍්‍රයන් නියෝජනය කරන අය බව අපි දනිමු. එමෙන්ම ඔවුහු රටේ කුමන හෝ ෙක්‍ෂ්ත‍්‍රයකට අයත්වන මහා ශ‍්‍රම බළකායක කොටස්කරුවන් බව අප සැවොම සිහි තබාගතයුතු කාරණයෙකි. එවන් වූ වැඩි පිරිසක් තමන් මුදල් ගෙවා මිලදී ගන්නා දේ වෙනුවෙන් මෙසේ මහමඟ පැය ගණන් වරුගණන් හෝ ඊටත් වැඩිකාලයක් රස්තියාදුවීම යනු රටේ සංවර්ධනයට බලපාන සෘජු බාධකයන් අතර මූලික බවද අමුතුවෙන් කිවයුත්තක් නොවේ. කොවිඞ් 19 වැනි ගෝලීය වසංගත තත්ත්වයන් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මෙන්ම අපේ රටද විශාල පසුබෑමකට ලක්ව සිටින මොහොතක රටේ සංවර්ධනයට දායකවන මහජනයාට මේ අන්දමට සිය වටිනා කාලය මෙසේ අපතේ යවන්නට සිදුවීම සැබැවින්ම මිලකළ නොහැකි පාඩුවකි.

රජරට ඇතුළුව දිවයිනේ වී වගා කරන දිස්ත‍්‍රික්ක රැසක මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ. බොහෝ අවස්ථාවල අස්වනු නෙළන සමයේ මේ ගොවිබිම්වලින් මීට පෙර අසන්නට ලැබුණේ තම වී අස්වනු නිසි මිලකට විකුණා ගැනීමට නොහැකිවීම නැතහොත් පෞද්ගලික වෙළෙඳුන් විසින් කුණු කොල්ලයට මිලදී ගැනීම වැනි මැසිවිලිය. එහෙත් මෙවර සෑම දෙසින්ම පාහේ උස්ව නැඟෙන අඬහැරයවී ඇත්තේ ඉන්ධන නොමැතිකම නිසා කලට වේලාවට තම වී අස්වනු නෙළාගැනීමට නොහැකිවීමය. එයට හේතුව කලකට පෙර මිනිස් ශ‍්‍රමය භාවිතකර දෑකැතිවලින් ගොයම් කැපීම සිදුකළද දැන් සෑම ගොවිබිමකම අස්වනු නෙළීම සිදුකරනුයේ යන්ත‍්‍රානුසාරයෙනි. එම නිසා මේ දිනවල රටේ පවතින ඞීසල් හිඟය වී අස්වැන්න නෙළීමේ කටයුතුවලටද දැඩිලෙස බලපා ඇතැයි ගොවීහු කීහ. අස්වනු නෙළන යන්ත‍්‍රවල හිමිකරුවන්ට, ක‍්‍රියාකරුවන්ට ඉන්ධන සපයාදී අස්වනු නෙළාගැනීමට සිදුව තිබෙන බවයි බොහෝ ගොවීන් ප‍්‍රකාශ කළේ. මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල ගොවීන් පෝලිම් ගැසී සිටින අන්දම මේ දිනවල කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කවල ඉතා සුලබව දැකිය හැක. එසේ පෝලිම්වල පැය ගණන් රස්තියාදුවීමෙන් පසුවද ඉන්ධන ඉවරවීම නිසා හිස් අතින් ආපසු ඒමට සිදුවන අවස්ථාද තිබෙන බව ගොවීන් අප සමඟ කියා සිටියහ. ගොවීන්ට තමන්ගේ වී අස්වැන්න කලට වේලාවට නෙළාගැනීම සඳහා යන්ත‍්‍රවලට අවශ්‍ය ඞීසල් පහසුවෙන් ලබාගැනීමට වැඩපිළිවෙළක් රජය මගින් යෙදුවේ නම් මේ අපහසුතාව මඟහැරීයන බව ඒ ගොවිජනතාව පෙන්වා දෙති. කෙසේ වුවද වී අස්වැන්න කලට වේලාවට නෙළාගැනීමට නොහැකිවීමෙන් මෙවර අස්වනු කුඹුරේම විනාශවී යන තත්ත්වයක් උද්ගතවී තිබෙන බව ඇතැම් බොහෝ ගොවීහු පැවැසූහ. ඔවුන් පෙන්වා දෙන්නේ අන් කවරදාකත් මෙවන් ගැටලූවකට මුහුණපෑමට තමන්ට සිදුනොවූ බවයි. මෙවර මාස් කන්නයේ වී අස්වැන්නද වෙනදාට වඩා බොහෝ සෙයින් අඩුවී තිබියදී තිබෙන ප‍්‍රමාණය හෝ නාස්තිවන්නට නොදී ගෙටගන්නට නොහැකිවී ඇත්තේ ඉන්ධන නොමැතිකම නිසා බවයි ඔවුන් කියා සිටියේ. අස්වනු නෙළීමේ යන්ත‍්‍ර සඳහා මීට පෙර කන්නවලදී අයකළ කුලියට වඩා වැඩි කුලියක් මෙවර අයකරන බවද ගොවීහු කියා සිටියහ. එම නිසා මෙවර ගොවිබිමේ උස්ව නැඟෙන රාවය වී ඇත්තේ ඉන්ධන හිඟය නිසා ගොවිතැනට එල්ලවී තිබෙන අර්බුදයයි. එයට නිසි විසඳුමක් ලබාදෙන්නට මිහිපිට කිසිවෙකුත් නොමැති නිසාදෝ තම දුක් අඳෝනා දෙවියන්ට කියාපාන්නට ගොවීන් පෙළඹී සිටින ආකාරයක් අපගේ නෙත ගැටුණේ මින්නේරිය මහ ගොවිජනපදයට අයත් කවුඩුල්ල යායේ ගොවි බිම්වෙත ගිය ගමනේදීය. එහිදී අපට මුණගැසුණ ගොවීන් ප‍්‍රකාශකළේ අපි විඳින දුක වගකියුත්තන්ට අනන්ත අප‍්‍රමාණ කිව්වා. ඒත් පලක් වුණේ නෑ. ඒ හින්දා දෙවියන්ට හෝ කියන්නට තීරණය කළා යැයි ඔවුහු කීහ. ඒ අනුව කවුඩුල්ල කුඹුරුයායට පිවිසෙන මාර්ගයේ තැන්පත්කර තිබෙන මහසෙන් දේව ප‍්‍රතිමාව හෙවත් මින්නේරි දෙවියන්ගේ ප‍්‍රතිමාව ඉදිරියේ පසුගියදා දේව කන්නලව්වක් සිදුකළ ගොවීහු පැවැසූහ. දෙවියන් ඉදිරියේ කන්නලව්කර ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙළාගැනීමට පැනැවී තිබෙන බාධක ඉවත්කර දෙන්නැයි ඉල්ලා සිටි බව ඒ ගොවීහු ප‍්‍රකාශ කළහ.

ඩීසල් නෑ,පොහොර නෑ… යල කන්නයට එළවළුත් නෑ, හාලුත් නෑ…

වී වගාවේ අස්වනු නෙළීමේ කටයුතුවලට පමණක් නොව රජරට පළාතේ ගොවිබිම්වල එළවළු ඇතුළු වෙනත් බෝග වගාවන් කරගෙන යෑමට සහ මේවනවිට වගාකර තිබෙන බෝග වර්ගවල අස්වනු නිසි මිලකට විකුණා ගැනීමටද රටේ පවතින ඉන්ධන හිඟය විශාල වශයෙන් බලපා ඇතැයි එහි ගොවීහු අපට කියා සිටියේ හැඬූ කඳුළින් යුතුවය. බොහෝ ගොවීන් වගා ළිං ආදියෙන් තම වගාබිම්වලට ජලය සපයාගැනීම සිදුකරනු ලබන්නේ ජල පොම්ප මගින් වන අතර ඒවාට යෙදීමට අවශ්‍ය ඉන්ධන, විශේෂයෙන්ම ඞීසල් නොමැතිකම නිසා වගා විනාශ වී යෑමේ තර්ජනයක් පවතින බව එම ගොවීන් පෙන්වා දුන්හ. දැනට පල දරමින් තිබෙන බෝග වගාව ජලය සපයාදීමට නොහැකිව විනාශවන බවද ඔවුහු කියා සිටියහ. ඉන්ධන නොමැතිකම නිසා තම වගාවන් විනාශ වී යෑමේ අමිහිරි අත්දැකීම තමන් මීට පෙර නොවිඳි බවයි බොහෝ ගොවීන් කියා සිටියේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් විසින් ඉකුත් සතියේ රැගෙනවිත් තිබූ එළවළු තොග විකුණා ගැනීමටද ඉන්ධන හිඟය නිසා දැඩිලෙස බලපෑ බව වෙළෙඳුන් පැවැසූහ. එළවළු තොග පිට පළාත්වලට ප‍්‍රවාහනය කිරීමට නොහැකිව ගොඩගැසී තිබූ බවත් බොහෝ එළවළු වර්ගවල මිල හරි අඩකින් පමණ පහළ බැස තිබූ බව ඒ ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළෙඳුන් ප‍්‍රකාශ කළහ. උත්සව සමයේ නිසි ඉහළ මිලකට විකුණාගැනීමේ අරමුණින් වගාකළ එළවළු මෙසේ තුට්ටු දෙකට විකුණා දැමීමට සිදුවීමෙන් තමන් දැඩි අසීරුතාවකට මුහුණදී සිටින බව එළවළු ගොවීහු කියා සිටිති. පොහොර, කෘෂි රසායන ආදිය වැඩි මිලට මිලදීගෙන එම එළවළු වගාකළ බවත් මෙසේ අඩු මිලට එහි අස්වැන්න විකුණා දැමීමෙන් වගාව සඳහා දැරීමට සිදුවූ වියදම් පියවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ඒ ගොවීහු පැවැසූහ.

ප‍්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස මල් සහ විසිතුරු පැළ වර්ග වගාකරන පිරිසක් පොලොන්නරුව හිඟුරක්ගොඩ සහ ඒ අවට වෙසෙති. ඒ මල් සහ විසිතුරු පැළ වගාකරන ගොවීන්ටද ඉන්ධන හිඟය නිසා ගැනුම්කරුවන් නොපැමිණීමේ හේතුවෙන් ගැටලූ මතුව තිබෙන බව එම ප‍්‍රදේශවලදී අසන්නට ලැබුණු ප‍්‍රබල මැසිවිල්ලකි. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සිරිකෙත සහ කුමාරගම විසිතුරු මල් සහ පැළ වගාකරුවන් විශාල පිරිසක් සිටින දිවයිනේ ඉතා සුප‍්‍රකට මල් ගම්මාන වෙති. විවිධ ප‍්‍රදේශලින් පැමිණෙන ගැණුම්කරුවන් නිසා මෙහි වගාකරුවන්ට මල්පැළ අලෙවිය මෙතෙක් ගැටලූවක් වී නොමැති බව කියති. එහෙත් මේ දිනවල පවතින ඞීසල් හිඟය හේතුවෙන් පැළ මිලදී ගැනීමට ගැනුම්කරුවන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී ඇති බවයි ඒ මල් ගම්මානයේ බොහෝ දෙනකු අපට කියා සිටියේ.

ඩීසල් නෑ,පොහොර නෑ… යල කන්නයට එළවළුත් නෑ, හාලුත් නෑ…

සිරිකෙත මල් ගම්මානයේ මල් වගාකරුවකු වන ඒ. එම්. සරත් බණ්ඩාර මහතා ඒ පිළිබඳව අපට පැහැදිලි කළේ මෙසේයි. ‘‘මේ විසිතුරු මල් වගාව අද වනවිට ගමේ වැඩි පිරිසකගේ ප‍්‍රධාන ජීවනෝපාය බවට පත්වෙලා තිබෙනවා. මල් වගාවෙන් තමයි මේ ගමේ අය විශාල ආර්ථික දියුණුවක් ලැබුවේ. පසුගිය කාලයේ කොරෝනා ප‍්‍රශ්නය නිසා වෙළෙඳාම ටිකක් අඩුවුණා. ඒ වගේම පැළ මිල තරමක් පහළ බැහැලා. ඒකට හේතුව මේ දිනවල ගැණුම්කරුවෝ එනවා අඩුයි. ඒකට බලපාලා තියෙන්නේ දැනට රටේ පවතින ඞීසල් හිඟය. එහෙම නැත්නම් රටේ සෑම පළාතකින්ම වගේ මල් පැළ මිලදී ගන්න සිරිකෙත ගමට තමයි එන්නේ. දවසකට වාහන 50ක් 60ක් මල් පැළ මිලදී ගැනීම සඳහා ගමට එනවා. ඒ අය අඩුම තරමින් රුපියල් ලක්‍ෂ 10ක් 15ක් ගමට දීලා යන්නේ. ඊට අමතරව මේ අයගේ වාහන 10ක් 15ක් දවසකට මල්පැළ අරගෙන වෙළඳාමේ යනවා. නමුත් මේ දිනවල ඒ කටයුතු බොහොමයක් ඇනහිටලා ඉන්ධන හිඟය නිසා. මේ කාරණේ නිසා බොහොම දෙනකුට අතමිට හිඟවෙලා. මේ වතාවේ ගොඩක් දෙනකුට තමුන්ගේ දරුවන්ට අලූත් අවුරුද්දට අලූතෙන් ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නවත් බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. දරුවෝ අඬනවා අලූත් ඇඳුම් ඉල්ලලා. අපිට හරිම දුකයි. නමුත් කරන්න දෙයක් නෑ.’’

මෙරටට විදේශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණියද සංචාරක කර්මාන්තයේ නිරත පොලොන්නරුව, හබරණ, සීගිරිය ආදී සංචාරක කලාපවල සේවා සපයන්නන් කියා සිටිනුයේ තමන්ට ඇතිවූ සෙතක් නොමැති බවය. වසර කිහිපයෙක පටන් මේ රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩ ඒගත නොහැකිව සිටින බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ දඹුල්ල, සීගිරිය, හබරණ, ගිරිතලේ ඒකාබද්ධ ජීප් සෆාරි සංගමයේ සභාපති සුමේධ ගීත් බණ්ඩාර මහතා- ‘‘පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ අපේ රටේ සංචාරක කර්මාන්තය එහෙම පිටින්ම බිඳවැටුණා. පසුව ක‍්‍රමයෙන් යහපත් වේගෙන එනකොට කොරෝනා නිසා ආයෙමත් ඇද වැටුණා. මේ විදියට අපේ රටේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමත් සමඟ ඒ ආශ‍්‍රිත රැකියාවලින් ජීවනෝපාය සලසාගත් විශාල පිරිසකට යන එන මං නැති වුණා. අපේ ජීප් රථ සංගමයේ 1000කට ආසන්න පිරිසකටත් ඒ තත්ත්වය උදා වුණා. සංචාරක කර්මාන්තය බිඳවැටීමෙන් පස්සේ සංචාරක මණ්ඩලය අපිට යම් යම් සහන දෙන්න පොරොන්දු වුණා. නමුත් ඒ කිසිම දෙයක් ඉෂ්ඨ වුණේ නෑ. අපි කිව්වා බැංකුවලින් ලබාගෙන තියෙන ණයවලට පොලී සහනයක් හරි දෙන්න කියලා. ඒ කිසිම දෙයක් කළේ නෑ. නමුත් තරු පහේ හෝටල් වලට ඒ පහසුකම් හැම දෙයක්ම ලැබුණා. ඒ නිසා ඒ අයට මේ ප‍්‍රශ්නය එතරම් තදින් දැනුණේ නෑ. මේ තත්ත්වය තුළ අපි අන්තිම අසරණ වුණා. අපේ සාමාජිකයන් වැඩි දෙනෙක් අවුරුදු 25ක විතර කාලයක් මේ රැකියාවේ නිරත වෙලා සිටි අය. නමුත් තමන් හුරුපුරුදු රැකියාව අහිමිවීමෙන් පස්සේ ජීප් රථ මිලදී ගන්න ගත්තු බැංකු ණය, ලීසිං ආදිය ගෙවාගන්න බැරිව ගියා. ඒ ණය ගන්න ඇප වෙච්ච රජයේ සේවකයන්ට පවා ලොකු ප‍්‍රශ්න ඇති වුණා. ඒ අයගේ මාසික වැටුප පවා නතර කරන තත්ත්වයට පත්වුණා. අවසානයේදී ලීසිං සමාගම් කිව්වා ජීප් රථ විකුණලා හරි ණය ගෙවන්න කියලා.ඊට පස්සේ නියමිත මිලටත් වඩා අඩුවෙන් නොවටිනා ගණන්වලට පවා තමන්ගේ ජීප් රථ විකුණලා ඒ ණය ගෙව්වා.එහෙම කලාට පස්සේ සෆාරී ජීප් රථ රියැදුරන් අනුන්ගේ කුලී වැඩට ගියා. වැවේ මාළු අල්ලන්න ගියා. දඹුුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුට්ට කරගහන්න ගියා.සමහරු ගඩොල් පෝරණුවල වැඩ කලා. වැලි ගොඩ දැම්මා.ජීප් රථ සෆාරියෙන් දවසෙ ගානේ ස්ථිර ආදායමක් ලබාපු පිරිස මේ විදියට නන්නත්තාර වුණා.ඒ අයගේ දරු පවුල් පිටින් අන්ත අසරණ වුණා.දැන් අපේ කර්මාන්තය කරන පිරිස අඩුවෙලා. ඒ අයටත් අනන්ත අප‍්‍රමාණ ප‍්‍රශ්න.
මම කලින් කිව්ව වගේ වාහන වල ලීසි ෆිනෑන්ස් ගෙවා ගන්න විදියක් නෑ. වාහන අමතර කොටස්, ටයර් මිල ඉතා ඉහළයි. වෙනදා දුවපු ගාණට දැන් සෆාරි යන්න බෑ. අපේ රටට සුද්දෝ එනවා හැබෑව. නමුත් ඒ අය වැඩිපුර යන්න වෙරළබඩ සංචාරක කලාප වලට. විශේෂයෙන්ම දකුණු පළාතට. රට මැදට එන අයගෙන් ලොකු පිරිසක් දඹුල්ල සීගිරිය, හබරණ, පොලොන්නරුව ආදී ප‍්‍රදේශවලට එන්නේ නෑ. ඒ ආවත් පරිසර සුන්දරත්වය විඳගන්න මිලමුදල් වියදම් කරන අය අඩුයි. මම ඒ අයට අපහාසයක් කරනවා නෙවෙයි. බෑග් එක පිටේ බැඳඟෙන, පාරේ බස් එකේ නැඟලා ඇවිල්ලා කිඹුලා බනිස් ගෙඩියක් කාලා ප්ලේන්ටි එකක් බීලා වේල පිරිමහගන්න සුද්දෝ අලි බලන්න මෙහේ එන්නේ නෑ. ඒ සුද්දෝ ජීප් වල යන්නේ නෑ. ඒකයි ඇත්ත තත්ත්වය. අපේ සංගමයේ සාමාජිකත්වය දරන ජීප් රථ 985ක් මේ කලාපයේ දැනට තිබෙනවා. සීමිත සංචාරකයන් පිරිසක් පමණක් එන නිසා ජීප් සෆාරි කර්මාන්තයට තියෙන තවත් ලොකු බලපෑමක් තමයි මේ දවස්වල මින්නේරිය, කවුඩුල්ල ජලාශවල වතුර පිරිලා. කෑම තිබෙන වැව්පිටි ජලයෙන් යටවෙලා. ඒ නිසා මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල අලි ගැවසෙන්නේ නෑ. ඒ අය දැන් ඉන්නේ හුරුළු පාරිසරික උද්‍යානයේ විතරයි. ඒ නිසා අපි සංචාරකයන් එක්ක යන්නේ එහාට විතරයි වැඩිපුරම.’’

හබරණ සෆාරි ජීප්රථ හිමියෙකු වන බී. එම්. කුලසේකර මහතා සිය රැකියාවේ වත්මන් අර්බුද පිළිබඳව පැහැදිලි කළේ මෙසේයි.

‘‘කොරෝනා වසංගතය දරුණු කාලේ මේ වනෝද්‍යාන හැම එකක්ම වහලා තිබුණේ. ඒ කාලේ අපිට එහෙම පිටින් රස්සාව නැති වුණා. පසුව වනෝද්‍යාන විවෘත කළාට පස්සේ දේශීය සංචාරකයන් ක‍්‍රම කමයෙන් එන්න පටන් ගත්තා. දැන් විදේශ සංචාරකයන් මෑතක ඉඳලා එනවා. නමුත් විශාල වශයෙන් නෙවෙයි. මේ එන ප‍්‍රමාණයට අනුව මෙතන ඉන්න සෆාරි කරන අයට රැකියාව නෑ. අපිට සංචාරකයන් එක්කරගෙන යන්න දවස ගානේ ලැබෙන්නේ නෑ. දවස් දෙකේ තුනේ ඇවිල්ල ඉඳලා හිස් අතින් ආපහු යනවා. මේ හැමෝම එහෙමයි. නමුත් වෙන කරන්න දෙයක් නෑ. මේ ජීප් එකට ලීසිං වාරික ගෙවන්න ඕන. ටයර්, අමතර කොටස් මේ හැම දෙයක්ම මිලයි. බ්‍රේක් වොෂර් එකේ ඉඳලා මිල වැඩියි. කලින් රුපියල් 350ට ගත්ත බ්රේක් වොෂර් එක දැන් රුපියල් 1400යි. රුපියල් 28,000ට ගත්තු ටයර් එක දැන් රුපියල් 39,000යි 40.000යි. වියදම් වැඩිනිසා. වාහන නඩත්තුව හරිම අමාරුයි. දැන් ඞීසල් මිලත් ඉහළ ගිහිල්ලා. ඉතින් මේ තත්ත්වය තුළ කලින් දුවපු ගාණට දැන් සෆාරි යන්න බෑ. ගාස්තු නංවන්න අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.’’

මේ අතර උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩවල මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වෙළඳපොළ තොරතුරු විමසීමේදි ඉතා මැනැවින් පෙනීයයි. දැන් පවතින මිල අනුව කිරිපිටි ආදිය මිලදී ගැනීම සිහිනයක් යැයි මහජනතාව කියති. වෙළෙඳුන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑමද මෙසේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට විශාල වශයෙන් බලපා තිබෙන බවය. කෙසේ නමුත් අතමිට හිඟ ජනයාට තව නොබෝ දිනෙකින් එළැඹෙන අවුරුද්ද සමරන්නට සිදුවනුයේ බඩකට පිරෙන්නට කාබී නොව කුසගින්නේ සිට බව බොහෝදෙනා කියති. උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළුව පාරිභෝගික භාණ්ඩවල මිළ ඉහළ යෑම වළක්වන බව රජය පැත්තෙන් නිතර නිතර කියැවුණද එය හුදු ප‍්‍රකාශයක් පමණක් බව දැන් පෙනෙන්නට තිබේ. සතොස අලෙවි සල්වල පවා බොහෝ ආහාර ද්‍රව්‍ය මේ වනවිටත් නැතැයි භාණ්ඩ මිලදී ගන්නට යන මහජනතාව කියති. රටින් ගෙන්වා අලෙවි කරන කැකුලූ සහල් දේශීය කැකුලූ සහල් මෙන් ගුණාත්මක බවින් තොර බවත් එම ආනයනික කැකුලූ සහල් වලින් කිරිබත් පිළියෙල කරගන්නට බැරි යැයි කතුන් පෙන්වාදෙන තවත් කරුණෙකි. එහෙයින් මේ උත්සව සමයේ පමණක්වත් දේශීය සහල් මහජනතාවට සහන මිලකට මිලදී ගැනීමට සතොස මගින් හෝ බෙදාහරින්නැයි ඔවුහු ඉල්ලීමක් කරති. එසේ නොවුණහොත් නිවෙසක, ගෙපැළක කිරිබතක්වත් නොඉදෙන අවුරුද්දක් ලෙස මෙදා අවුරුද්ද හැඳින්වෙනු ඇති බවද කියති.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment