ඩීසල් පෙට්‍රල්  හංගාගෙන නෑ කියූ  ෂෙඩ් එකට වැඩ වරදී

296

අනුරාධපුර සිට ගල්කුලමට දිවෙන ඒ 13 ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (20දා) සිදුකළ වැටලීමකදී එහි භූගත ටැංකි තුළ සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813ක් සහ පෙට්‍රල් ලීටර් 1540ක් සොයා  ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

වැටලීමට ගිය පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ තම පිරවුම්හල සතුව කිසිදු ඉන්ධන වර්ගයක් නොමැති බවයි. එහෙත් එම ඉන්ධන පිරවුම් හලේ භූගත ඉන්ධන ටැංකි පරීක්ෂා කළ විමර්ශන නිලධාරීන්ට භූගත ටැංකි තුළ සුපර් ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බව තහවුරු කර ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ඉන්ධන සඟවා තබාගැනීමේ චෝදනාවට අදාළ ඉන්ධන පිරවුම්හලේ අයිතිකාරීත්වය දරන දෙදෙනකුට සහ එහි කළමනාකරුට එරෙහිව ඉන්ධන සඟවා ගෙන තැබීමේ චෝදනාව මත නඩු පැවරීමටත් අවශ්‍ය ඉන්ධන සාම්පල සහ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානයේදීම සිදු කළහ.

අනතුරුව සඟවා තිබූ සියලු ඩීසල් සහ පෙට්‍රල් එම අවස්ථාවේ සිටම මහජනතාව වෙත අලෙවි කිරීම පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීම මත සිදු කෙරුණු අතර එහිදී  රැස්ව සිටි ජනතාව පාරිභෝගික නිලධාරීන්ට සිය ස්තුතිය පළ කළහ.

අදාළ ඉන්ධන පිරවුම්හල පරීක්ෂා කිරීමට යෑමේදී එහි සිටි පිරිස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට විවිධ බාධා සහ බලපෑම්ද මෙහිදී සිදු කළහ.

මෙම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය දරණ දෙදෙනාට සහ කළමනාකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධානී එම්.බී.සී.ඒ. පෙරේරා මහතා පැවසීය.

මේ අතර උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් දැඩිව ප්‍රකාශ කළේ, ඉන්ධන තොග තිබියදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ඒවා සඟවා ගෙන ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත්කරන උතුරු මැද පළාතේ ඉන්ධන පිරවුම්හල හෝ යම් ඉන්ධන පිරවුම්හලක් වේ නම්, පාරිභෝගික කටයුතු අධිකාරිය සමග එක්ව එම ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන බවය. ඒ අනුව අදාළ ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය උපරිම සහාය පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දෙන බවටද එම උසස් නිලධාරීන් සහතික විය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී බී.ඒ.සී.පී. පෙරේරා මහතා, විමර්ශන නිලධාරීන් වන එස්.ඒ.එම්. යුෂ්රක්, එම්.ටී.එම්. රිෂ්වි, එම්.එච්.සී.ඩබ්ලිව්. ආරියසිරි, කේ.එන්.එස්. කැටවල, ඩබ්ලිව්.එම්.පී.කේ. විජේපාල යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment