ඩීසල් ලීටර් දාහක් ප්‍රවාහනය කළ තරුණයෝ දෙදෙනෙක් දැලේ

86

අවසර පත්‍රයක් නොමැතිව කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර් 1,000 ක ප්‍රමාණයක් සමග තරුණයන් දෙදෙනෙකු පෙරේදා (11දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව නගරයේ සහ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ඩීසල් තොගය ප්‍රසිද්ධ දුරකථන සමාගමකට රැගෙන යන බව සැකකරුවන් පැවසුවද එය තහවුරු කිරීම සඳහා ඔවුන් සන්තකයේ තිබී කිසිදු ලියවිල්ලක් නොතිබූ බවද පොලිසිය කියයි. ඩීසල් ලීටර් 200 බැගින් අඩංගු බැරල් පහක දමා තිබූ ඩීසල් ලීටර් දහසක් මෙලෙස ප්‍රවාහනය කරමින් තිබියදී සොයා ගත් බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (12දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කවරක්කුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එච්. හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි, පො. කො. රංජිත් (56633), පො. කො. සම්පත් (84987) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment