ඩුබායිහිදී කොටුවූ හරක්කටා ගෙන්න ගන්න සැලසුම්

255

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය සහ ආරක්‍ෂක අංශ සැලසුම් සකස් කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය සහ රජය සමග සාකච්ඡා පැවැත්වීමට වහාම කටයුතු කරන බවට ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඩුබායි පොලිසිය වෙත ලබාදී තිබූ හරක් කටාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඔහුගේ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

‘හරක් කටා’ සිය බිරිඳ සමග ප්‍රංශය බලා යෑම සඳහා ඩුබායි ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එරට ආගමන හා විගමන නිලධාරීන් සහ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට ‘හරක් කටා’ ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින අතර ඔහුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් කරන බවද වාර්තා වෙයි.

‘හරක් කටා’ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ එම ක්‍රියාමාර්ගය දින කීපයකින් සිදු නොවන බවත් ඒ සඳහා කාලයක් ගතවනු ඇති බවත්ය.

හරක් කටා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඩුබායි රජය සමග සාකච්ඡා කර නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට කටයුතු කරනු ඇති බවද එම නිලධාරියා කියා සිටියේය.

පසුගිය වසර පහක පමණ කාලසීමාවක සිට මිදිගම නඳුන් චින්තක ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මහාපරිමාණ හෙරොයින් ජාවාරමේ නිරත වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සිට මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොගපිටින් ශ්‍රී ලංකාවට එවන ජාවාරම්කරුවන් කීපදෙනාගෙන් එක් අයකු වන හරක් කටා පසුගිය කාලයේ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන රැසකට ද සම්බන්ධ බව පොලිසිය කියා සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment