ඩුබායි යවනවා කියා 50 දෙනකුට වංචා කරලා – වංචාව කෝටි 4 ක් – උසාවිය ඉදිරිපිටත් නිහඬ විරෝධතාවක්

354

ඩුබායි රාජ්‍ය වෙත යවන බවට පොරොන්දු වෙමින්, ලක්ෂ 7.5 බැගින් පුද්ගලයන් 50 දෙනෙකුට අධික ප්‍රමාණයකට කෝටි 04කට ආසන්න මුදල් ප්‍රමාණයක් වංචා සිදු කළ හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක, එක් පුද්ගලයකු පෙරේදා (01) දින මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් එම සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරු මහියංගණ, 04 කණුව, හද්දත්තාව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නඩුව මේ මස 15 දි යළි කැඳවීමට නියමිතය.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේ, මෙම වංචාවට හසු වූ පිරිසක් ද අධිකරණය ඉදිරිපිට, නිහඬ විරෝධතාවයක නිරත වූහ. එහිදී ඔවුන් අත්අඩංගුවට ගත් සැකකරු හට ඇප ලබා නොදෙන ලෙසටත්, මෙම වංචාවට සම්බන්ධ අනෙක් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතියේ හමුවට ඉදිරිපත් කර ඔහුනට සාධාරණයක් ලබාදෙන ලෙසට ඉල්ලමින් පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත විය.

විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කළ පිරිසගෙන් තිදෙනෙක් මහියංගණ ප්‍රදේශයේ පදිංචි අතර, ඉන් දෙදෙනෙක් මහියංගණ ප්‍රදේශයේම පදිංචි අඹුසැමි යුවළකි. අනෙක් දෙදෙනා ද අඹුසැමි යුවළකි. එම අඹුසැමි යුවළගේ පුරුෂයා පෙරේදා (01) දිනයේ අත්අඩංගුවට ගත් අතර එම සැකකරුගේ බිරිඳ වත්තල, හැඳල, කෙරවළපිටියේ පදිංචිකාරියකි.

මුදල් ලබාදුන් පුද්ගලයන් මුදල් ඉල්ලා යන අවස්ථාවන්වලදී අදාළ සැකකරුවන් ඔවුන්ට මරණ තර්ජනද සිදු කරන බවත්, ඒ බවද සඳහන් කරමින් මහියංගණ පොලිසියේ පැමිණිලි ගොනු කර ඇති බවට මෙම වංචාවට හසු වු පිරිස් පවසති.

ඩුබායි යවනවා කියා 50 දෙනකුට වංචා කරලා - වංචාව කෝටි 4 ක් - උසාවිය ඉදිරිපිටත් නිහඬ විරෝධතාවක්

මෙම වංචාවට හසු වූ පුද්ගලයන් මහියංගණ, මහනුවර, පොලොන්නරුව, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, බදුල්ල, බකමුණ, බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

රට යවන බවට බවට පවසමින් ව්‍යාජ ලේඛන රැසක්ද සකස් කර පෙන්වා මෙම වංචාව සිදු කර ඇති බවට මෙම වංචාවට හසු වූ පිරිස් පවසති. මෙම වංචාවට අදාළව ඔවුනට ද වංචා කර ඇති බවට, කොළඹ දූෂණ වංචා ඒකකයේ පැමිණිල්ලක්ද ගොනු කළ බවට පවසමින් ඊට අදාළව පැමිණිල්ල ගොනුකළ බවට සඳහන් ලියවිල්ලක්ද පෙන්වමින් මුදල් ලබාදුන් පිරිස රවටා ඇති බවට මුදල් ලබාදුන් පුද්ගලයන් පවසන අතර, එම පෙන්වන ලියවිල්ල පිළිබඳව ද කිසිදු විශ්වාසයක් තමන් හට නොමැති බවට වංචාවට හසු වූ පිරිස් පවසති.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛාව වෙතද ගොස් පසුගියදා පැමිණිල්ලක් සිදුකරනු ලැබූ බව විරෝධතාවයේ යෙදී සිටි පිරිස පවසති.

තම අත ඇති රත්‍රං බඩු, ත්‍රීවිල්, ඉඩම් උකස් කර එම මුදල්, විදේශ රැකියා ලබාදෙන බවට පැවසූ මෙම පුද්ගලයන් හට ලබාදුන්නද, මාස 08ක් තිස්සේ විවිධ බොරු පවසමින් තවමත් පිරිස් රවටමින් මෙම වංචාව සිදු කරන බවත්, තමන්ව රවටා විශාල මුදලක් වංචා කළ මෙම වංචනිකයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර තමන් හට සාධාරණය ඉටු කර දෙන ලෙස වැඩිදුරටත් නිහඬ විරෝධතාවයේ යෙදී සිටි පිරිස ඉල්ලා සිටිති.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment