ඩුබායි විසිට් වීසාවලින් රට පනින හැටි…

806

ඩුබායි පැන්නට පස්සේ අනික් රටවලට විකිණෙන අපේ ගැහැනු
ආදරය කරන බව පවසා රවටා ඕමානයට ගෙන්වා විකුණයි…
ඕමානයේ මිනිස් ජාවාරමේ තවමත් අසරණ වූ කාන්තාවන් ‘දිවයින’ට දුක කියයි…

අගහිඟකමින් බේරෙන්න ඉසුරු සොයා එතෙරට පියඹා ගිය බොහෝ දෙනෙකු අද ජාවාරම්කරුවන්ට කොටුව වැටී ඇත්තේ කබලෙන් ළිපටය. අප මෙම සටහන් තබන්නේ එලෙස ගොස් ඕමානයේ සිරව දුක් විඳින බොහෝ දෙනෙකු කඳුළු වගුරවමින්, හඬමින් ‘ඉරිදා දිවයින’ට කී මහා වේදනාබර කථාවලින් කොටසක් පමණි.

දිනේෂ් චන්දතිලක ආදරය කරනවා කියලා අපිව රවට්ටලා ඕමානයට ගෙන්වා ගත්තා…

රාගම පදිංචි සුන්දර යුවතියක් වූ වාසනා නදිශානිට මුහුණ පොත හරහා දිනේෂ් චන්දතිලක නම් අයෙකු හමුවන්නට විය. ආර්ථික ගැටළුවලින් බේරීමට රටවත් යා යුතු යැයි සිතා සිත සිටි ඇයට දිනේෂ් චන්දතිලක අපූරු යෝජනාවක් සිදු කළේය. ‘මම ඔයාට ආදරෙයි. මම ඉන්න ඕමාන් රටට එන්නකෝ, මම ඔයා බලා ගන්නම්කෝ’ යනුවෙන් දිගින් දිගටම පවසා සිටින්නට වූවේය. අවසානයේදි ඇය කටාර්වලට ගොස් ඕමානයට පැමිණෙන්නීය.

නදිශානි මුහුණ දුන් ගැටළු ගැන මෙලෙස කීවාය.

මම කටාර් හරහා ඕමානයට ආවේ විසිට් වීසාවලින්. ජොබ් වීසා, විසිට් වීසා කියලා අපිට ඒ ගැන තේරුමක් තිබ්බේ නැහැ. ඕමාන් අල්කෝද්වල ගොඩනැගිල්ලක හය වන තට්ටුවේ තිබ්බ ආශා දිසානායකගේ ඒජන්සියට මාව එක්කරන් ආවා. ඊට පස්සේ මාව ඕමාන් ගෙදරකට ලක්ෂ 17කට වික්කා. ඊට පස්සේ ඉන්න බැහැ කීවාම මාව ආයෙත් ආශාගේ එජන්සියේ ගෙදර තියගෙන පස්සේ ඕමාන් ගෙදරකට මාව ආශා දිසානායක, දිනේෂ් චන්දතිලක, සුමිත් රාජපක්ෂ කියන අය ලක්ෂ 17ක් අරන් තිබ්බා. එතෙනත් ටික දවසක් ඉන්න බැරි නිසා මම ඒ ගෙදරින් ආවා. ඊට පස්සේ ආශාලා මාව වෙනත් ගෙදරකට දීලා ආයේ ලක්ෂ 17ක් අරන් තිබ්බා. එතනත් ඉන්න බැරි නිසා එළියට ඇවිත් දැන් කරගන්න දෙයක් නැතිව අසරණ වෙලා සහෝදරියකගේ ගෙදරකට වෙලා ලංකාවට එන්න උත්සාහ කරමින් ඉන්නවා.

මම මගේ ගැටලුව ගැන කථා කරන්න පසුගිය ඉරිදා උදේ තානාපති කාර්යාලයට තවත් නංගි කෙනෙක් එක්ක ගියාම තානාපති කාර්යාලයේ ඇතුලේදි නිලධාරින් බලා ඉද්දි ඒ නංගි සම්බන්ධ ඒජන්සියේ ගෑනු කෙනෙක් ඇවිත් නිලධාරින් ඉස්සරහ එයාට ගහලා අරන් ගිහින් තානාපති කාර්යාලයේ අදාළ පොලිසියට යන්නේ නැතිව බෝසර් පැත්තේ තියෙන ඒජන්සිකාර කාන්තාවට හිතවත් පොලිසියට භාර දිලා. දැන් එයාව සිර කරලා ඉන්නේ. මගේ පාස්පෝට් ඉල්ලුවාම ලක්ෂ තුනහමාරක් දුන්නොත් දෙන්නම් කියනවා.

ආදරය කරනවා කියලා මාව වගේම තවත් තරුණියන් රවටා ගෙන ගෙනල්ලා අතරමං කරලා දිනේෂ් ලංකාවට වෙලා සැප විඳිනවා. අපි මේ අන්ත අසරණ වෙලා ඉන්නවා.

ලංකාවට ගියාම තානාපති කාර්යාලයේ කුෂාන් කියනවා එයා ජාවාරම නතර කරා කියලා ලංකාවේ මාධ්‍යයට බොරු කියනවා. මම එයා හම්බ වෙන්න ගියාම විසිට් වීසා ආව නම් අපිට කරන්න දෙයක් නැහැ ඒජන්සියට කියලාම ඒක විසඳාගන්න කියලා මට බැණ වැදුන බවත් වාසනා නදිශානි පවසා සිටියාය.

නුවර සිට ඕමානයට පැමිණි බී.බී. ශාලනි කීවේ මෙවැනි කථාවකි.

මම රට යන්න හැදුවත් පස්සේ බැහැ කියලා හිතුනා. පස්සේ වීසා ගහලා තියෙන්නේ ගියේ නැතිනම් ලක්ෂ දෙකක් ඕනේ ඒ නිසා මාස හයකට යන්න කියලා බලෙන්ම වගේ මාව රට යැව්වා එජන්සියෙන්.

පස්සේ මම ඩුබායිවලට ආවා. ඊට පස්සේ මම වාහනයකින් ඕමාන් බෝඩරය ළඟට එක්කරන් ආවා. එතෙන්ට කාර් එකක් ආවා. ඒකේ රියදුරත් ගෑනු දෙන්නෙක් හිටියා. ඒ අය මාව ආශා දිසානායක ළඟට එක්කරන් ආවා. අපේ පාස්පෝට් ආශා අරගත්තා. ඊට පස්සේ මාව රියාල් 1900කට (ලක්ෂ 18ක්) දැන් ඉන්න ගෙදරට මාව දිලා ආශා අරන් තිබ්බා. ඒ ගෙදර වැඩ වැඩියි, තුන් හතර දෙනෙක් කරන වැඩ මට කරන්න වෙලා තියෙනවා. මම අසනීපෙන් ඉන්නේ. මට දැන් ආයේ ලංකාවට එන්න ඕනේ. මට පඩිය රියාල් 120ක් දෙන්නම් කීවාට දෙන්නේ රියාල් 100යි.(රුපියල් අනූපන්දාහයි).

මට දැන් ලංකාවට එන්න විදිහක් නැහැ අපි සංචාරක වීසාවලින් ගෙන්වලා තියෙන්නේ. අපිට ඒ ගැන දැනුමක් තිබ්බේ නැහැ. අපේ පාස්පෝට් අපිට දෙන්නේ නැතිව තියෙන නිසා. පොලිසිය අල්ල ගත්තොත් රියාල් පන්සීයක දඩයක් ගහනවා. නැත්නම් හිරේට දානවා. මම වගේ ගොඩක් දෙනෙක් ලංකාවට එන්න බැරිව මෙහේ ගෙවල් වල ඉඳන් දුක් විඳිනවා. මට ඉන්න ගෙදරින් එළියට එන්න කියලා ආශලා කියනවා. ඔයා ගොඩක් ලස්සන නිසා පාර්ට් ටයිම් ජොබ් එකක් හොයලා දෙන්නම් කියනවා. මාව ගණිකා මඩමකට දාන්න තමයි එන්න කියන්නේ කියලා මට විශාල සැකයක් තියෙනවා. මේවා කරන්නේ ලංකාවේම අය තමයි. කොච්චර අමාරු වුණත් ඉන්න තැනම දුක් විඳන් ඉන්නවා. අපි ආවේ ගණිකා මඩමකට යන්න නෙවෙයි. මේ දවස්වල ලංකාවේ මාධ්‍යයෙන් ඕමානය ගැන කථා කරත් ඒ අය කථා කරන්නේ ඕමානයේ සුරක්ෂා නිවෙස අය ගැන විතරයි. ලංකාවට එන්න විදිහක් නැතිව ගෙවල්වල කොටු වෙලා ඉන්න, ගුටි කාගෙන මහා තාඩන පීඩන විඳින අය ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. ගොඩක් දෙනෙක් මාධ්‍යයට කථා කරන්න බයයි. මාව කවුරු හරි මරලා දැම්මත් මම බය නැතිව කථා කරන්නේ ඇත්ත හෙළි වුණාම ඉන්න අයට හරි සාධාරණයක් ඉෂ්ට වෙයි. ලංකාවට යන්න පුළුවන් වෙයි කියලා. අපි අන්ත අසරණ කරලා ඕමානයේ අතරමං කරලා ලංකාවට එන්න දෙන්නේ නැතිව හිර කරන් ඉන්න මිනිසුන්ට එරෙහිව නීතිය දැන්වත් ක්‍රීයාත්මක කරන්න කියලයි අපි මේ කියන්නේ යනුවෙන් ශාලනි පැවසුවාය.

ගම්පොළ පදිංචි මේ වන විට ඕමානයේ කබුරා ප්‍රදේශයේ නිවෙසක සේවය කරන ප්‍රියර්දශනි මහත්මිය මෙසේ කිීවාය.

මම මෙහෙට එවපු ඒජන්සියේ නමවත් දන්නේ නැහැ. ගම්පොල අනස්කාන් කියලා කෙනෙක් තමයි මාව එව්වේ. විසිට් වීසාවලින් එව්වා කියලා පස්සේ දන්නේ. මාව ඩුබායි අජ්මාල්වල නිශා කියන කෙනෙක් ළඟ තමයි හිටියේ. ඩුබායි ආවට පස්සේ එහේ ජොබ් නැහැ කියලා මාව ඕමාන් ඒජන්සියකට එක්කරන් ඇවිත් පස්සේ ම කියනවා උඹව ගත්තේ මෙහේ ඒජන්සියේ කෙනා හොර ඒජන්සියක් කරලා කියලා අල්ලලා හිරේ ඉන්නේ. එයා නිදහස් වෙලා ආවාට පස්සේ තමයි පාස්පෝට් එක අරන් වීසා ගහන්න වෙන්නේ කියල අය තමයි එව්වේ. දැන් එයයි මෙහේ මට දීල තියෙන නම්බර්වලට කථා කරත් ආන්සර් කරන්නේ නැහැ. මගේ ළඟ දැන් කිසිම ලියවිල්ලක් නැහැ. අන්ත අසරණ වෙලා ජීවත් වෙන්න විදිහක් නැති නිසා තමයි රට ආවේ. මේ ගෙදර ඉන්න බැහැ හරිම කරදරයි. අනේ අපිව බේරාගෙන ලංකාවට ගෙනියන්න යනුවෙන් ප්‍රියදර්ශනී පවසා සිටියාය.

දැනට බහරේන්වල සිටිමින් ගැටලුවලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 14ක් තිස්සේ හඬ නගන සුරංග පුෂ්පකුමාර මහතා මෙලෙස පැවසුවේය.

මම අවුරුදු 24ක් කාලයක් මැද පෙරදිග රටවල සේවය කරනවා. ඕමන් පමණක් නොව මැද පෙරදිග සෑම රටකම වගේ මෙලෙස ගැටලු රැසක් තිබෙනවා. මෙයට ප්‍රධානම හේතුව තමයි තානාපති සේවය කිසි කමකට නැති වීම. ඒවාට ගොඩක් එන්නේ දේශපාලන පත්වීම්වලින්, ඒ නිලධාරින්ට අරාබි භාෂාව බැහැ. අරාබි සංස්කෘතිය ගැන දැනීමක් නැහැ. ඒ අය ඇවිල්ලා කරන්නේ ඒජන්සිකාරයන්ට වුවමනා දේ. මෙහෙට එවන්න ඕනේ අපේ රටට ආදරය කරන, මැද පෙරදිග පැමිණි සිටින ජනතාව ගැටලු විසඳා සැම විටම සේවය කරන්නට කැමති මනුස්සකම තියෙන අවංක නිලධාරින්. නමුත් වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. අපේ කෙනෙක් කථා කරත් තානාපති කාර්යාලයෙන් කෝල් එකකට හරියට උත්තර දෙන්නේ නැහැ.

ගොඩක් වෙලාවට බැණ වදිනවා. ගෙදරක ඉන්න බැහැ කියලා තානාපති කාර්යාලයට ගියොත් ඒ අය කරන්නේ නැවතත් ඒජන්සියට භාර දෙනවා. ඒජන්සියෙන් ගොඩක් වෙලාවට හිටපු තැනටම යවනවා.

ඒ වාගේම තානාපති කාර්යාලවලින් විසිට් වීසාවලින් පැමිණි අය පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ඒ අය සැම විටම වැඩ කරන්නේ ඒජන්සිකරුවන්ට ඕන විදිහට. ඒ නිසා දැන්වත් විසිට් වීසාවලින් රට ගෙන්වලා අසරණ වුණ අය බේරගන්න. මේ ජාවාරමට සම්බන්ධ අයව අත්අඩංගුවට ගන්න. මම අපේ අයට වන අසාධාරණයට කටයුතු කරද්දි බහරේන් තානාපති කාර්යාලයෙන් මට විරුද්ධව බහරේන් මනමා නයිම් පොලිසියේ පැමිණිල්ලක් පවා දැම්මා. බහරේන් තානාපති කාර්යාලය 2013 ආරම්භ කරත් තාම සුරක්ෂා නිවසක ආරම්භ කරේ නැහැ. කුවේට්වල සුරක්ෂා නිවස දැන් නැහැ. මේ ආකාරයෙන් ඕමානයේ පමණක් නොව මැද පෙරදිග පුරාම දක්නට ඇත්තේ මෙවැනි තත්ත්වයක් බව සුරංග පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.

නිවෙසින් ගණිකා මඩමට යන හැටි

මේ වන විට ආශා දිසානායකගේ හරහා නිවෙස්වලට දැමූ අයගේ පාස්පෝට් ඇය ළඟ නැති බව කීවද ඇයගේ ඕමාන හාම්පුතා ළඟ පාස්පෝට් 66 තිබෙන බවත්, ආශාගේ ඥාති තරුණයෙක් ළඟ තවත් පාස්පෝට් රැසක් තිබෙන බවත් අසරණ වූ කාන්තාවෝ කියති. ආශා පමණක් නොව මේ ආකාරයෙන් ඕමානය පුරා විවිධ හොර ඒජන්සිවලින් අමන තක්කඩි වැඩ කරමින් අපේ කතුන් අතරමං කර නිවෙස්වලට විකුණා දමා අමන ඒජන්සිකරුවන් ලක්ෂ 17, ලක්ෂ 20 වැනි මුදල් ලබා ගනිති. ඉන් පසු එතැනින් පැන ආවොත් නැවතත් නිවසකට එවැනිම මුදලකට විකුණයි.

එසේත් අවසානයේ නිවෙසින් පැන ආ පසු අන්ත අසරණ වන කාන්තාවන්ට පාස්පෝට්, වීසා නොමැති නිසා එරට පොලිසියෙන් ඇල්ලූ විට දඩය ගෙවන්නට ලක්ෂ 05ක් නොමැති වූ විට ජීවත් වෙන්න මුදල් නොමැතිව අන්ත අසරණ වූ ඇතැම් කාන්තාවන්ට එකම විකල්පය වන්නේ අකැමැත්තෙන් වුවත් පාදඩ ඒජන්සිකාරයින්ගේ මුදල් තණ්හාවට ලක්ෂ ගණනින් ගණිකා මඩම් හිමිකරුවකුට විකිණි සළෙළුන් හා යහන් ගතවීමටය. බාල වයසේ තරුණියන්ට හොඳ ඉල්ලුමක් තිබෙන බව පැවසේ. මෙවන් ඉරණමකට ගොදුරු කතුන් මාධ්‍යයට තොරතුරු දීමෙන් වැළකී ඉන්නේ ලංකාවට ඒමට නොහැකි වේ යැයි බියෙනි. ඒ අතරම ඒජන්සියක් තුළදී කාන්තාවකට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. එම පහර දෙන කාන්තාව ආශා බව බොහෝ දෙනෙක් කියති.

ඒ පිළිබඳ සොයන්නට විමර්ශනය කරන නිලධාරින්ට භාර කටයුත්තකි. ලංකාවේ අහිංසක කතුන් රවටා විවිධ උපක්‍රම ඔස්සේ ඕමානයට ගෙනවිත් මුදල් හොයනා තක්කඩි ජාවාරම්කරුවන් හට සහ නිසි පරිදි රාජකාරි නොකරන තානාපති කාර්යාලවල පාදඩ නිලධාරින්ට දැන්වත් නිසි දැඩි දඬුවම් ලබා දිය යුතුව ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment