ඩුබායි, හිරේ හිටපු හරක් කටා නිදහස් වුණේ කාගේ වරදින්ද?

806

“හරක් කටා” නොහොත් වික්‍රමරත්නගේ නඳුන් චින්තක මෑත යුගයේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළින්ම නම කියැවුණු ප්‍රභලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකටය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හෙරොයින් සහ අයිස් වැනි ප්‍රබල මත්ද්‍රව්‍ය ටොන් එකකට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අවශ්‍යවම සිටින අපරාධකරුවකු ලෙස ගැනෙන අතර මේ වන විටත් ඔහුට එරෙහිව දේශීය අධිකරණ කිහිපයක් වෙතින් නිකුත් කෙරුණු වරෙන්තු පදනම් කරගෙන ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් පවා නිකුත් කර ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සමග ගහට පොත්ත මෙන් බැඳුණු තවත් ක්ෂේත්‍රයන් කිහිපයකි. එම ක්ෂේත්‍රයන් අතර ගිනි අවි පරිහරණය සහ ජාවාරම, සංවිධානාත්මක අපරාධ කල්ලි පවත්වාගෙන යෑම, මුදල් විශුද්ධිකරණය මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයද ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගනියි. මත්ද්‍රව්‍ය ජාවාරමේ දී තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සංවිධානාත්මක අපරාධ කල්ලි පිහිටුවා ගැනීම මෙන්ම ඔවුන්ගේ පරිහරණය සඳහා ඉතා නවීන ගිනි අවි ලබා ගැනීමද කළ යුතුව ඇත. එසේම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන කළු සල්ලි සුදු කිරීම සඳහා මුදල් විශුද්ධිකරණයට ලක් කළ යුතු අතර බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා නීති විරෝධී මුදල් සංචාරක හෝටල්, සුඛෝපභෝගී තට්ටු නිවාස, ඉඩකඩම් වැනි නීත්‍යානුකූල ආදායම් මාර්ගයන්හි ආයෝජනය කිරීම සිදුකරනු ලබයි. මේ අතර මෙරටදී රුපියල්වලට අලෙවි කරන මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදී ගැනීම සඳහා ඩොලර් පවුම් වැනි ජාත්‍යන්තර මුදල් ඒකක අවශ්‍ය බැවින් මෙරට උපයන රුපියල් අනීතික ක්‍රම මගින් ඩොලර් බවට පරිවර්තනය කොට විදේශ විනිමය ලෙස වෙනත් විදේශයන් වෙත යැවීම ද මුදල් විශුද්ධිකරණයේ ප්‍රධාන අංගයක් ලෙසද සැලකේ.

ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන බහුතරයක් සිය සංවිධාන සඳහා අවශ්‍ය මිනිස් බලය නවීන ගිනි අවි මෙන්ම පුපුරන ද්‍රව්‍ය ද නීති විරෝධී ලෙස මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයන කළු සල්ලි යොදවන බැවින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය ද මත්ද්‍රව්‍ය ජාවාරම සමග බැඳී පවතින්නේද ගහට පොත්ත ලෙසය. මෙම විෂය හැඳින්වෙන්නේ Narco Terrorism ලෙසය. මේ අනුව “හරක් කටා”ද මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතනය කප්පම් ලබා ගැනීම, මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව ද ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවකු ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මීට වසර දෙකකට ඉහතදී “හරක් කටා” අත්අඩංගුවට ගැනීම සඳහා දැල එලමින් සිටිය දී ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පලා යෑම සිදුවිය. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියාවේ විශාලතම මූල්‍ය කේන්ද්‍රය ලෙස සැලකේ. එබැවින් එක්සත් අරාබි එමීර් සිය මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය සඳහා ඉතා ලිහිල් ආගමන විගමන ප්‍රතිපත්තීන් අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ප්‍රකටය. මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණය පමණක් නොව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධව ද අවශ්‍ය කරන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රාශියක් මේ වන විටත් ඔවුන් අනීතික ක්‍රම මගින් උපයන ලද මුදල් ඩුබායි රාජ්‍යයට රැගෙනවිත් ඉතා නීත්‍යානුකූල ආයෝජන ලෙස එම මුදල් ඩුබායි රාජ්‍ය තුළ ආයෝජනය කර සිටින බව ලෝකයටම රහසක් නොවේ. “හරක් කටා” අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් බවට සමහර නිලධාරීන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ප්‍රකාශ කළ අතර සමහර දේශපාලනඥයන් ද හරක් කටා ගේ පහනෙන් එළිය බැලීමට සූදානම් වූ අවස්ථා ද විරල නොවී ය. එහෙත් ඒ සියලුම කරුණු ප්‍රලාපයන් බවට පත් කරමින් පසුගිය ඔක්තෝබර් තුන්වන දින ප්‍රකාශයට පත්වූයේ අත්අඩංගුවේ සිටි “හරක් කටා” ඇතුළු තිදෙනා ඩුබායි බලධාරීන් විසින් නිදහස් කර ඇති බව ය. ප්‍රවෘත්තිය පදනම් කරගෙන මෙරට ආරක්ෂක අංශවලට විශේෂයෙන්ම පොලිසියට මාධ්‍යය වෙතින් චෝදනා එල්ල වීමට පටන්ගත් අතර සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා බලධාරීන් “හරක් කටා” මෙරටට රැගෙන ඒම වුවමනාවෙන්ම අතපසු කළ බවය. සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ “හරක් කටා” අත දිග හැර විසිකරන ලද මුදල්වලට ඔහු මෙරටට රැගෙන ඒමේ ප්‍රයත්නය යට වූ බවය.

යම් රටක අපරාධයක් සිදුකර වෙනත් රටකට පලා ගොස් සැඟවී සිටින අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර නැවත එම අපරාධය සිදු කළ රටට භාරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන නීතියක් ඇති අතර එම නීතිය උද්ධර්පන නීතිය නොහොත් (extradition law) ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව ද 1977 පෙබරවාරි මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 1973 අංක 8 දරන උද්ධර්පණ පනත මගින් මෙම නීතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් දේශීය නීති පද්ධතියට එක්කර ඇත.

එහෙත් අපරාධකරු සැඟවී සිටින රට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටක් වන විට එම රට සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ නීතියට සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කර නොමැති නම් එම තැනැත්තා අපරාදේ සිදු කළ රටට ආපසු භාර දීමේ හැකියාවක් ඔහු සැඟවී සිටින රට සතුව නොපවතී.

උද්ධර්පන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන නෛතික ගැටලු මගහරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපරාධමය සිද්ධීන් සඳහා රටවල් අතර අන්‍යොන්‍ය සහාය වර්ධනය කරගැනීමේ අරමුණින් විශේෂ සම්මුතියක් 2000 වර්ෂයේ දී සම්මත කරගන්නා ලද අතර එම සම්මුතිය අපරාධ සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහාය දැක්වීමේ සම්මුතිය නොහොත් “mutual legal assistant in criminal matters” හැටියට හඳුන්වනු ලබයි. මෙම සම්මුතිය ආශ්‍රිතව දේශීය නීතිය 2002 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට හඳුන්වා දෙනු ලැබූ අතර එම නීතිය 2002 අංක 25 දරන අපරාධමය සිද්ධීන් සම්බන්ධව රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත ලෙස හඳුන්වනු ලබයි. එමීර් රාජ්‍යය විසින් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය විෂයෙන් පසුගියදා පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ලදී. එම නිවේදනයේ සඳහන් වූයේ ශ්‍රී ලංකා අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු පදනම් කරගෙන නිකුත් කළ රතු නිවේදනයක් මත වික්‍රමරත්න ගේ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” යන අය තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු සමඟ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන බලධාරීන් විසින් පසුගිය අගෝස්තු එකොළොස් වන දින සවස අත්අඩංගුවට ගත් සහ ඒ බව අගෝස්තු මස 18 වන දින ජාත්‍යන්තරව පොලිසිය විසින් නිල වශයෙන් මෙරට බලධාරීන් වෙත වාර්තා කර ඇති බවය. ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඔස්සේ මෙම අපරාධකරු ආපසු ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධව අවශ්‍ය ලිපිගොනුව පසුගිය සැප්තැම්බර් මස 12 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් එදිනම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ගොනුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීම සඳහා සැප්තැම්බර් මස 14 වැනි දින නීතිපති කාර්යාලයට යොමුකර නීතිපති කාර්යාලය විසින් ආපසු සැප්තැම්බර් මස 26 වැනි දින නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමෙන් පසු සැප්තැම්බර් මස 30 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොනුව යොමු කළ බවය. මෙම වාර්තාවේ සඳහන් කරුණු නිවැරදි නම් අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් ජාත්‍යන්තර පොලිසිය දැනුම්දුන් අගෝස්තු මස 18 වන දින සිට සැප්තැම්බර් මස 12 වන දින දක්වා දින 24 ක කාලයක් මෙම ගොනුවට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු විසින් මෙතෙක් පැහැදිලි කර නැත. එසේම සැප්තැම්බර් මස 13 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිපති කාර්යාලයට යොමු කර ඇති ගොනුව සැප්තැම්බර් මස 26 දින දක්වා දින 13 ක් නීතිපති කාර්යාලයේ සිරවී තිබීම සම්බන්ධව ද පිළිගත හැකි කරුණු කිසිවක් මේ වන විටත් ඉදිරිපත් වීද නැත. මෙම සමස්ත ක්‍රියාවලියම සලකා බැලීමේදී සැකකරු අත්අඩංගුවට ගත් අගෝස්තු මස දොළොස් වැනි දින සිට ඉකුත් සැප්තැම්බර් මස තිස් වැනි දින දක්වා දින 48 ක කාලයක් තුළ අපරාධකරු මෙරටට ලබා ගැනීම සඳහා වගකිවයුතු බලධාරීන් ක්‍රියා නොකිරීමේ ප්‍රමාදයක් සිදුව ඇත්දැයි ප්‍රබල සැකයක් මහජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැකි කරුණකි. මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කිරීමේ සුවිශේෂ ගිවිසුමක් 2014 වර්ෂයේදී ද්විපාර්ශික ගිවිසුමක් ලෙස අත්සන් කර ඇති නමුත් මේ වන විටත් අත්සනට පමණක් සීමා වූ එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් වන අතර මෙම සිද්ධියෙන් පසුව ලහි ලහියේ එම ද්විපාර්ශික ගිවිසුම පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ප්‍රබලම අපරාධකරුවකු විදේශ රටකදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් ඔහු මෙරටට ආපසු ලබා ගැනීමට නොහැකි වීමට හේතුවූ කරුණු සවිස්තරාත්මකව මහජනතාවට දැනගැනීමට සැලැස්වීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රබල වගකීමක් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මෙම අපරාධකරු ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මැලේසියාව බලා ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ බැවින් ඔහු මේ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කර ඇති අයකු ලෙස සැලකේ. එරට නීතිය අනුව අදාළ පුද්ගලයාගේ ජාතිකත්වය නිවරැදිව තහවුරු කර ගැනීම සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණයකින් අනතුරුව එම පුද්ගලයා අදාළ රටට පිටුවහල් කිරීම සිදුකළ යුතුය. මේ අනුව බොහෝ විට හරක් කටා ඇතුළු පුද්ගලයන් තිදෙනා මෙරටට පිටුවහල් කිරීමට ඇති ඉඩකඩ විශාලය.

ප්‍රියන්ත ජයකොඩි
අපරාධ බුද්ධි තොරතුරු සහ
සංවිධානාත්මක අපරාධ සම්බන්ධව
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

advertistmentadvertistment
advertistmentadvertistment