ඩෙංගු  මට්ටු කරන විට මේ ගැනත්  හිතන්න

340

ඉන්ධන නැතිව, ගෑස් නැතිව, බඩු මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් දැඩි පීඩා විඳින මොහොතේ අපට ඩෙංගු මදුරුවාගෙනුත් සිදුවන පීඩාවන්ට ද මුහුණ දීමේ කාලය මේ වනවිට උදා වී ඇත.

 සාමාන්‍යයෙන් ජූලි මාසය යනු ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වන කාලය බව පසුගිය වසර 10ක කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ දත්ත අනුව හෙළි වී ඇත. ඒ අනුව ජුනි සිට අගෝස්තු දක්වා වූ මාස 03 ඩෙංගු රෝගීන් බහුලවම අප රට තුළ වාර්තා වන කාලය ලෙස හඳුනාගෙන තිබේ.

 එසේම මෙම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම ද පෙර වසරවලට වඩා ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

 ආර්ථික ගැටලුවලට හසුව පීඩා විඳින අපට මේ මොහොතේ ඩෙංගුත් බැට දෙන්නට පටන් ගතහොත් එය දරා ගැනීමට අපහසු වේ. එබැවින් අප ඩෙංගු රෝගයට ගොදුරු වීම වළකා ගැනීමට වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

 ඩෙංගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය

 සාමාන්‍යයෙන් මදුරුවන්ගේ ක්‍රියාකාරීත්වය සක්‍රීය වන්නේ අඳුරු අවස්ථාවලදීය. ආලෝකය වැඩි වනවිට මදුරුවාගේ ක්‍රියාකාරි බව අඩු වේ. ඩෙංගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය ද වඩා සක්‍රීයව දැකිය හැකි වන්නේ උදෑසනට සහ සවස් කාලයටය. ඒ නිසා මෙවැනි කාල වේලාවන්හිදී නිවසින් පිටතට යන විට සිරුරට මදුරු විකර්ෂකයක් ආලේප කරගෙන යෑම මගින් මදුරුවා දෂ්ඨ කිරීම පාලනය කර ගත හැකිය.

 මදුරුවන් රැඳී සිටින්නේ අඳුරු ස්ථානවලය. එවැනි අඳුරු ස්ථාන නැති කිරීමට පියවර ගත යුතුය. ඊට අමතරව නිවසින් පිටත ඇති අනවශ්‍ය ගස්කොළන් කපා දැමීම, පඳුරු සහිත තැන් ශුද්ධ කිරීම, ජලය රැඳී තිබිය හැකි තැන් විනාශ කිරීම ආදියයි. එමගින් මදුරුවන් බෝවන තැන් සහ රැඳී සිටින තැන් නැති කළ හැකිය. එසේම නිවස තුළ ද අඳුරුව පවතින ස්ථාන නැති කළ යුතුය. උදාහරණයක් ලෙස නිවසේ නිතරම අඳුරුව පවතින ස්ථාන ඇත්නම් ඒවාට හොඳින් එළිය ලැබෙන ලෙස සකස් කළ යුතුය.

 ඒ නිසා නිවසින් පිටත ශුද්ධ පවිත්‍ර කිරීම එළි පෙහෙළි කිරීම කරනු හා සමානව නිවස තුළ ද අඳුරු බව නැති කර ආලෝකයේ තීව්‍රතාවය වැඩි කිරීම මගින් මදුරුවාගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරගත හැකිය.

 මදුරු දැල් භාවිතය

 මදුරු දැල් භාවිතය මගින් මදුරුවන්ගෙන් සිදුවන දෂ්ඨ කිරීම පාලනය කරගත හැකිය. නමුත් ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වීමට එය ප්‍රායෝගික නොවේ. ඩෙංගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය දැකිය හැක්කේ උදෑසනට සහ සවස් කාලයටය.

 ඩෙංගු රෝගයට ගොදුරු වීම

 ඩෙංගු මදුරුවන් දෂ්ඨ කළ පමණින් ඩෙංගු රෝගය ආසාදනය නොවේ. ඩෙංගු වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ඨ කළ යුතුය. එසේම ඩෙංගු වෛරසය සහිත මදුරුවකු දෂ්ඨ කළ විගස ද රෝගය ආසාදනය වීම සිදු නොවිය හැකිය. ඒ සඳහා එම පුද්ගලයාගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ද බලපානු ලබයි.

 රෝග ලක්ෂණ

 ඩෙංගු රෝගයේදී මතුවන ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ ඇතිවීමය. ඒ සමග තද හිසරදය, ඇඟපත තුළ දැඩි වේදනාවක් මතු වේ. මෙම වේදනාව ඇටකටුවලින් ඇති වන ලෙස දැනේ. මස් පිඬු සහ සන්ධිද සමග මුළු සිරුරම දැඩි ලෙස වේදනාවට ලක් වේ. මෙම රෝග ලක්ෂණ දෙක ඩෙංගු රෝගයේදී මතු වන ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සලකයි.

 ඩෙංගු රෝගය හඳුනා ගැනීම

 පැය 24කට වඩා තද උණක් පවතී නම් වහාම ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂාවකට යොමු විය යුතුය. එහිදී ඩෙංගු ආසාදනය වී ඇති බව තහවුරු වූ පමණින් රෝහල්ගත වීම අවශ්‍ය නැත.

 පූර්ණ රුධිර පරීක්ෂාවකදී රුධිර පට්ටිකා සංඛ්‍යාව ඝන මිලිලීටරයක 130,000ට වඩා අඩු නම් එය රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට බලපාන සාධක අතරින් එකක් ලෙස සලකනු ලබයි.

 ඩෙංගු ආසාදිතයකුගේ දිනකට කීපවරක් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර රුධිර පට්ටිකාවල ප්‍රමාණය නිරීක්ෂණය කරනු ලබයි. එමගින් රුධිර පට්ටිකා ප්‍රමාණයේ වෙනස්වීමක් සිදුව ඇත්නම් හඳුනාගත හැකිය.

 ඒ නිසා රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පමණින් බිය නොවිය යුතුය. වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් ඖෂධ පමණක් ගෙන වෙනත් වේදනා නාශක ඖෂධ නොගෙන මහන්සි නොවී විවේකීව සිටීමෙන් රෝගය සුව කර ගැනීම සහ ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් කර ගැනීම වළක්වා ගත හැකිය.

 ඩෙංගු රෝගයට ප්‍රතිකාර

 ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වූ විට රෝහල්ගත කිරීමකින් තොරව නිවසේ සිට ප්‍රතිකාර ලබාගත හැකි මට්ටමක රෝගියා සිටින බවට වෛද්‍යවරයා තීරණය කර ඇත්නම් වෛද්‍ය උපදෙස් අනුව විවේකීව ඇඳකට වී සිටිය යුතුය.

 දිනකට වතුර සහ ද්‍රව වර්ග ලීටර් 2 1/2ක් පමණ පානය කළ යුතුය. එහිදී ජලයට අමතරව ජිවනී වැනි පානයක් ද ගැනීම කළ යුතුය.

 තද වර්ණ සහිත පාන වර්ග සහ ආහාර වර්ග ගැනීම නොකළ යුතුය. මන්දයත් රෝගියාට ඩෙංගු රක්තපාතය ඇතිවීමක් සිදු වුවහොත් මෙවැනි පාන ගැනීම නිසා එය නිසි ලෙස හඳුනා ගැනීමට අපහසු වේ.

 ඩෙංගු රක්තපාතයට පත්වීම

 ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වන්නේ රෝගය ඇති වී දින 3 ක් 4 ක් පමණ ගත වූ විටය. ඒ නිසා මෙම කාලය නිසි වෛද්‍ය උපදෙස් මත ඉතා සුපරීක්ෂාකාරීව කාලය ගත කළ යුතුය.

 ඩෙංගු රක්තපාතය ඇති වූ විට දත් මදින විට විදුරුමස්වලින් ලේ ගැලීම, මුත්‍රා තද පැහැයෙන් පිටවීම, උගුර කාරමින් කෙළ ගසන විට කෙළ සමග රුධිරය පිටවීම, සම මතුපිට රතු පැහැති ලප මතුවීම හෝ සමට යටින් රුධිර වහනය සිදුවීම වැනි රෝග ලක්ෂණ මතුවේ. මෙබඳු රෝග ලක්ෂණ දුටු වහාම ළඟම ඇති රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගත යුතුය.

ඩෙංගු  මට්ටු කරන විට මේ ගැනත්  හිතන්න




 කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment