ඩෙංගු රෝගයේ දී සිදුකරන ප්‍රතිකාර

491

ඩෙංගු උණ (Dengue Fever) මේ වන විට නිතර කතාබහට ලක්වන රෝගයක් බවට පත්ව ඇත.

පවතින කඩින් කඩ වැසි තත්ත්වය ද ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා හොඳ පරිසරයක් මතුව තිබේ. එසේ ම මෙම වසරේ (2023) ජනවාරි මාසය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් ගණන හයදහසකට ආසන්න ය. මෙය පසුගිය වසරට (2022) හා සමාන තත්ත්වයකි. එබැවින් අප කොයි කවුරුත් ඩෙංගු රෝගය සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුය.

ඩෙංගු රෝගය ඇති කිරීමට බලපාන්නේ ඊඩිස් ඊගිප්ට් : (Aedes Aegyptද්‍ය) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Aedes Albopද්‍යctus) යන මදුරු විශේෂ දෙක ය. මෙම මදුරුවන් අපගේ සිරුරේ ලේ උරා බීමේ දී ඩෙංගු වෛරසය සිරුරට ඇතුළු වේ.

● ඩෙංගු හඳුනාගැනීම

ඩෙංගු රෝගය ද වෛරස් රෝගයක් බැවින් උණ, හිසරදය, ඇඟපත වේදනාව වැනි වෛරස් රෝගවල දී ඇතිවන රෝග ලක්‍ෂණ මතුවේ. නමුත් ඩෙංගු රෝගයේ දී ඇතිවන ඇඟපත වේදනාව පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධවලට ද අඩුවීමක් දැකිය නොහැකි ය. එසේම තද උණක් ඇති වේ. ඇස් යට නළල ප්‍රදේශයේ දැඩි වේදනාවක් මතු වේ. කැස්ස, උගුර රිදීම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණ මතුවීමක් දැකිය නොහැකි ය. එසේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. ඩෙංගු රෝගයේ දී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමට පටන් ගන්නේ උණ ඇතිවී දින 4කට පසු ය. එනිසා තද උණ, හිසරදය, ඇඟපත වේදනාව මතුවූ විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුය. ඉන්පසු දින 4කට පසු සිදුකරන රුධිර පරීක්‍ෂාවකින් රුධිර පට්ටිකාවල සිදුව ඇති වෙනස්කම් හඳුනාගත හැකි ය. ඊට අමතරව ඩෙංගු හඳුනාගැනීමේ පරීක්‍ෂාවකට (Dengu Antද්‍යgen) යොමු වීමෙන් ද මතුව ඇත්තේ ඩෙංගු රෝගය දැයි කියා නිවැරදිව හඳුනාගත හැකි ය.

ඩෙංගු රෝගයේ දී සිදුකරන රුධිර පරීක්‍ෂාවේ දී රුධිර පට්ටිකා ප්‍රමාණය යම් අඩුවීමක් සිදුව තිබුනහොත් රෝගියා රෝහල් ගතකර ප්‍රතිකාර සිදුකරනවා ද එසේත් නැතිනම් නිවසේ තබා ප්‍රතිකාර ලබාදෙනවා ද කියා රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

ඩෙංගු රෝගයේ වැඩි අවදානම් තත්ත්වය මතුවන්නේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩුවන විටදී ය. එවිට ලේ කැටි ගැසීමේ දුර්වලතා මතුවිය හැකි ය. එසේ වූ විට සුළු කම්පනයක දී පවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි ය.

එබැවින් ඩෙංගු රෝගයේ දී රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩුවන විට රෝගියාට ඇවිදීමට හෝ නොදී ඇඳ මත විවේකයෙන් තබන්නේ මෙම තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට ය.

රුධිර පට්ටිකා ප්‍රමාණය තව තවත් අඩු වීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමට ඇති අවදානම වැඩි වේ. එනිසා එය පාලනය කර ගැනීමට මෙලෙස රෝගියා විවේක ගන්වයි.

මේ අතර ඩෙංගු රොගීන්ට පැයකට දියර වර්ග පානය කිරීමට දී ඉන්පසු පැය 03කට පසු මුත්‍රා පිටවන ප්‍රමාණය මනිනු ලබයි. ඉන් සිදුකරන්නේ අභ්‍යන්තර රුධිර වහනයක් හෝ වෙනත් කිසියම් ගැටලුවක් මතුව ඇතැදැයි කියා පරීක්‍ෂා කිරීමට ය. මෙහිදී දියර වර්ග ලෙස ජලය, ජීවනී, එළවළු සුප් ආදිය විටින්විට පානය කළ හැකි ය.

පැය 03ක් තුළ පානය කළ දියර මිලි ලීටර් ප්‍රමාණයට අනුව පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩුනම් එය සිරුර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වැනි ගැටලුවක් මතුව ඇති බව දක්වන ලක්‍ෂණයකි.

ඩෙංගු සුව වීමට පත්වනවිට නැවත රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ යෑමට පටන් ගනී.

කෙසේ වෙතත් ඩෙංගු සුවවූ පසු ද සති දෙකක පමණ කාලයක් ඇඟපත වෙහෙස කරන බර වැඩ නො කර සිටිය යුතුය.

රෝගය සුවවී සිරුර යථාතත්ත්වයට පත්වීමට සති දෙකක පමණ කාලයක් ගතවේ. එතෙක් විවේකී බව

අවශ්‍ය ය. මෙම කාලය තුළ ඇඟපත වෙහෙස, කෑම අරූචිය වැනි අපහසුතා ද පැවැතිය හැකි ය.

ඩෙංගු රෝගයේ දී සිදුකරන ප්‍රතිකාර

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment