ඩෙංගු වරද මදුරුවාගේ ද අපේද?

558

කෘෂිකාර්මික සංස්කෘතියක් පවත්නා රටවල මිනිසුන් සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ වැසි කාලය යනු වාසනාවන්ත කාලයක් ලෙසය. සාමාන්‍යයෙන් වැසි කාලය එන්නේ නියං කාලයට පසුය. නියඟයෙන් පසු ඇදහැලෙන වැස්සෙන් එකතුවන ජලය ගොවිතැනට පාවිච්චි කරනු ලැබේ. ගොවිතැනින් හටගන්නා බෝග වර්ග වලින් කුසගිනි නිවාගනු ලැබේ.

කුසගින්න නිවා ගැනීමෙන් මිනිස් ජීවිතය ශක්තිමත් කරගනු ලැබේ. ශක්තිමත් මිනිස් ජීවිත රටක ආර්ථිකය හසුරුවයි. නිසි ලෙස හසුරුවන ආර්ථිකයක් සහිත රට සෞභාග්‍යමත්ය. කෘෂිකාර්මික සංස්කෘතියක ආර්ථික සහ සමාජ අර්ථ නිරූපණය ගොඩනැගෙන්නේ ඉහත සඳහන් පරිදිය. ලංකාවද කෘෂිකාර්මික රටක් ලෙස වර්ගීකරණය කෙරුණු භූමියකි. එසේ නම් වර්ෂාවේ පල විපාක අපට බලපාන්නේ ද ඉහත සඳහන් ලෙස විය යුතුය. එහෙත් අපගේ කර්ම ශක්තිය කෙතරම් නරක්වී ඇත්ද යත් මේ වනවිට මේ රටේ වැස්සට පසු එන්නේ සෞභාග්‍ය නොව වසංගත කාලයකි. අද වහින්නේ මෝසමට අනුව නොව බෙංගාල බොක්කට අනුවය. බෙංගාල බොක්කේ නිරන්තරයෙන් වර්ධනය වන අඩු පීඩන කලාප හේතුවෙන් අපට නිතරම වැස්සෙහි අත්දැකීම විඳිය හැක. එහෙත් වහින විට තියෙන චූන් එක වැස්ස නිමවී පායන විට නැත. පෙරකී වසංගත තත්ත්වය නිසා මීට අවුරුදු තිහකට පෙර මේ රටේ තිබූ සෞඛ්‍ය අවදානම මෙන් තුන්ගුණයක අවදානමක් අද තිබේ. මෙදා වැස්සෙන් පසු ඉතා දරුණුවට ඩෙංගු වසංගතය හිස ඔසවා ඇති අතර ඊයේ වනවිට ඩෙංගු රෝගීන් 25 ක් මිය ගොස් තිබිණ. ඩෙංගුවලට අමතරව මී උණ, ගවයන් අතර පැතිරෙන වසංගත උණ යනාදිය ද ඉතා බහුලය. ලංකාවට ආවේණික සාම්ප්‍රදායික රෝග කිහිපයක් මීට අවුරුදු 100 ට පෙර තිබිණ. ඉන් භයානකම රෝගය වූයේ මැලේරියාවය. මැලේරියාව යනු මේ රටේ ගොවිතැන් කරන ජනතාව සමග එකට බැඳී ජීවත්වූ වසංගතයකි. මෙය උදේට හැදෙන්නේ නැත. දවල්ට හැදෙන්නේද නැත. ගොවියා උදේ සිට රෑ වනතුරු වැඩකර වතුර ටිකක් නා ගෙට ගොඩවූ සැණින් මැලේරියා උණ ක්‍රියාත්මක වී රෝගියා වෙව්ලන්නට පටන් ගනී. ඊළඟට ඔහුගේ සර්වාංගය දරුණුවටම රත්වෙයි. එතැන් සිට උණ නගිමින්ද බසිමින්ද එළිවන තුරු ඔහුට පීඩා කරයි. උදේට ඔහු ආපසු කෙතට යා යුතුය. රෑ වනවිට පෙරදා රැයේ තත්ත්වය එසේම පුනරුච්චාරණය වෙයි. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට සහ ක්වීනින් යනාදී බෙහෙත්වලින් සරල සහනයක් ලැබෙන අවස්ථා තිබුණද රෝගය මාසයක් දෙකක් පැරණි වූ විට මේ කිසිවක් ඇඟට අල්ලන්නේ නැත. මැලේරියා උණ වැළඳෙන සෑම රාත්‍රියකම රෝගියාගේ අක්මාව සහ වකුගඩු ක්ෂය වෙයි. මාස තුනක් පමණ ඇවෑමෙන් දවසක් උදේ බලන විට රෝගියා මිය ගොසිනි. නැත්නම් මද්දහනේ කුඹුර මැද තිබී ඔහුගේ මළ සිරුර හමුවෙයි. ගොවියාගේ සදාකාලික සතුරා වූ මැලේරියාව අද නැතත් ඒ තැන ගෙන සිටින මී උණ ඉතා භයානකය. මෙයද නිත්‍ය මරණය ළඟා කරන රෝගයකි.

වසංගත රෝග ඒකකයට අනුව පසුගිය මැයි 30 දා වනවිට ඩෙංගු රෝගීන් 38639 ක් අපේ රටේ සිටියහ. එයින් 8630 ක්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අය වෙති. ගම්පහ යනු ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින බස්නාහිර පළාතට අයත්, වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය වේ. ජන ඝනත්වය නිසා වසංගත රෝග සහ කටකතා යන දෙකට ගම්පහ දිස්ත්‍රික්කයේදී අත්තටු ලැබෙන්නේය. ජන ඝනත්වය ඇතැම් තැන්වලදී ඉතා දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයකි. ජන ඝනත්වය වැඩිවූ විට අපිරිසිදුකම වැඩි වේ. රෝග බෝවීම වැඩිවේ. අන්තර් මානුෂීය සම්බන්ධකම් පැය 24 පුරාම පවත්වාගෙන යන මෙවැනි කලාපවල කලකෝලාහල ද වැඩිවේ. ඩෙංගු රෝගය බෝවන්නේ පිරිසිදු ජලය නොබසිනා තැන්වල ඩෙංගු මදුරු ගහන ඇති වීමෙනි. මේ කාරණයේදී ජනතාව අත ඇති වැරැද්ද ඉතා විශාලය. මිනිසුන් තම ගෙවත්ත කෙරෙහි හැමදාමත් උනන්දු විය යුතු නමුදු ලංකාවේ බොහෝ පවුල් තම ගෙවත්තෙහි පිරිසිදුකම ගැන කල්පනා කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුධ හමුදාව හෝ පොලිසිය එකතු වී ඩෙංගු පරීක්ෂා කරන දවසට පමණි. එදා උදෙන්ම අවදි වී ගෙවත්තේ තිබෙන වතුර පිරුණු පොල් කටු, ටින් කබල්, තැඹිලි කෝම්බ යනාදිය අනෙක් පැත්ත හරවා තබා තම ගෙවත්ත ආදර්ශ ගෙවත්තක් බවට පත් කිරීමට නිවැසියෝ කටයුතු කරති. ඩෙංගු හමුදාව ගෙවත්ත පරීක්ෂා කර නික්ම ගිය පසු නැවතත් පරණ පුරුදු අපිරිසිදුකම එහෙමම හටගනී. වතුර පිරුන පොල් කටු අහස දිහා බලා සිටින අතර එහි බාල සහෝදරයන් වූ තැඹිලි කෝම්බද ඒ ආකාරයෙන්ම වතුර පිරී උඩ බලාගෙන සිටිති. මේවායේ බෝවන ඩෙංගු මදුරුවන් රෝගය පතුරුවා හරින්නේ තමන් බිහිවූ භූමියේ සිටින මිනිසුන් අතර පමණක් නොවේ. උන් අල්ලපු වත්තේ මිනිසුන්ටත් රෝගය බෝ කරති. ඇතැම් කාලවලදී බස්නාහිර පළාතේ පෞද්ගලික රෝහල්වල ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ඩෙංගු රෝගියාය. ඩෙංගු රෝගීන්ගෙන් පළාතේ රජයේ රෝහල් පිරීගිය පසු පෞද්ගලික රෝහල් වලට ලොකු ඉල්ලුමක් හටගනී. අද මේ රටේ ඉතාම ලාභ ඉතාම කුණු ගඳ ගහන පෞද්ගලික රෝහලක කාමරයක් පවා දිනකට රුපියල් දස දහසකට කිට්ටුය. මේ නිසා කාමර ගාස්තු, ඖෂධ ගාස්තු, ස්කෑන් ගාස්තු, රුධිර පරීක්ෂණ ගාස්තු යනාදී ගාස්තු වලින් එක රෝගියකුගෙන් රුපියල් ලක්ෂ දෙක තුනක්වත් කඩා ගැනීමට පෞද්ගලික රෝහල් වලට පුළුවන. රෝගියා සෞඛ්‍ය රක්ෂණයක් සහිත කෙනෙක් නම් කෙලින්ම පෞද්ගලික රෝහලට යයි. ඔහු හෝ ඇය සල්ලි නැති පහළ මධ්‍යම පන්තියේ කෙනකු නම් රජයේ රෝහලට යයි. රජයේ රෝහල් පිරී ගොස් ඇත්නම් රෝගියාට සිදුවන්නේ පැරසිටමෝල් පමණක් බෙහෙතක් ලෙස ගනිමින් හැකි තරම් දියර වර්ග පානය කරමින් ඇඳට වී සිටීමටය. මෙසේ සිටින විට ඇතැම් රෝගීන්ගේ ප්ලේට්ලට් count එක වැඩිවී මරණයෙන් බේරෙයි. එහෙත් එම රෝගියාට පුද්ගලික රෝහලකට යන්නට සිදුවී නම් රෝහලේ බිල දකින විට ඔහුට සිහිවනු ඇත්තේ ජීවත් වුණාට වඩා මළා නම් හොඳ බවය.

ලංකාව යනු රටේ සියලුම දෙනාටම සෞඛ්‍ය රක්ෂණයක් තිබිය යුතු භූමියකි. එහෙත් මේ වනවිට සෞඛ්‍ය රක්ෂණයක් කෙසේ වෙතත් ඇතැම් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් පවා නැත. අපේ රට ඉතාම ඉක්මනින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කළ යුතුය. නැත්නම් අපේ රටේ ජනගහන ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඩෙංගු මදුරුවාටත් මී උණ වෛරසයටත් අවස්ථාව ලැබෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment