ඩෙල්ටා වෙනත් ප‍්‍රභේදවලට වඩා සියයට 225 ක වේගයකින් පැතිරෙයි – බටහිර වෛද්‍ය පර්යේෂකයෝ හෙළි කර ගනිති

530

ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල වේගයෙන් පැතිර යමින් පවතින ඩෙල්ටා නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය දැනට පැතිර ගොස් ඇති සෙසු කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට වඩා සියයට 225ක වේගයෙන් පැතිර යන වෛරස් ප‍්‍රභේදයක් බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය හෙලන් චු පවසන්නේ කවුරුන් කුමන කෝණයකින් මෙම වෛරස් ප‍්‍රභේදය දෙස බැලූවද එය සිතාගත නොහැකි වේගයකින් පුද්ගලයන් අතර පැතිර යන බවයි.

මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබුණේ ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය එංගලන්ත වෛරස් ප‍්‍රභේදය වන ඇල්ෆා ප‍්‍රභේදයට වඩා 60 ගුණයක වේගයකින් පැතිරීමේ හැකියාවක් ඇති ප‍්‍රභේදයක් බවයි.

මේ අතර චීන වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ වෙනත් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් ආසාදනය වූ අයට වඩා දහස් වාරයක් වැඩි වෛරස් අංශු ප‍්‍රමාණයක් ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අයගේ ශ්වසන පද්ධතිය තුළ තැන්පත්ව තිබෙන බවයි.

මෙම වෛරස් ප‍්‍රභේදය නොසලකා හරිමින් ඒ සම්බන්ධයෙන් බලධාරීන් විසින් කඩිනමින් අවශ්‍ය පියවර නොගතහොත් විශාල ජීවිත හානියක් සිදු විය හැකි බවට බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් මේ වන විට අනතුරු අඟවා තිබේ. ඉකුත් සතිය තුළදී ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් තිබූ අතර, රෝහල්ගත කෙරුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව එම සතිය තුළදී සියයට 36කින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.

දැනට ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදයට එරෙහිව ඉහළ ආරක්ෂාවක් ලබා දෙනුයේ ෆයිසර් එන්නත බව හෙළි වී ඇත. කෙසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙකම ලබා ගත් 5492 දෙනකු කොරෝනා ආසාදනයෙන් මියගොස් හෝ රෝහල්ගත කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි එරට රෝග නිවාරණ හා පාලනය පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. මේ නිසා ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් එන්නත් ලබා ගත් අය මෙන්ම එන්නත් ලබා නොගත් අයද නිසි පරිදි කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව කැනේඩියානු වෛද්‍ය පර්යේෂකයන් විසින් පවසා තිබේ.

– ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment