ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි කෞතුක ස්මාරක අතරින් අතීතය සොයා ගියෙමි…

1134

උතුරුකරේ පියසටහන්…

යාපනය අපේ රටේ වැඩිපුර ම දූපත් පිහිටි දිස්ත‍්‍රික්කය යි. යාපන අර්ධද්වීපයට බටහිර මුහුදු ප‍්‍රදේශයේ ලොකු කුඩා දූපත් 11ක් පිහිටා ඇත. මණ්ඩතිව්, කයිට්ස්, පුන්ගුඩුතිව්, නයිනතිව් (නාගදීපය), කරෙයිනගර්, හැමන්හිල්, අනලතිව්, එළුවතිව්, ඩෙල්ෆ්, පරෙයිතිව් හා කච්චතිව් එම දූපත් වෙති. හැමන්හිල්, පරෙයිතිව් හා කච්චතිව් හැර සෙසු දූපත්වල ජනතාව පදිංචි වී සිටිති.

ඉතාම කුඩා දූපතවන හැමන්හිල් දූපත පුරා බලකොටුවක් පිහිටා ඇති අතර තවත් කුඩා දූපතක්වන පරෙයිතිව් දූපතේ පක්ෂීන් හා වන සතුන් දිවි ගෙවති.ඩෙල්ෆ් දූපත පිහිටා ඇත්තේ පුන්ගුඩුතිව් දූපතේ කුරීකට්ටුවාන් ජැටියේ සිට මුහුදු සැතපුම් 07ක් පමණ දුරිනි. එය පැයක පමණ මුහුදු ගමනකි. මා එහි ගියේ නාවික හමුදාවේ වෝටර්ජෙට් යාත‍්‍රාවක නිසා ගතවූයේ විනාඩි 20ක පමණ කාලයකි.

ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි කෞතුක ස්මාරක අතරින් අතීතය සොයා ගියෙමි…

වර්ග කි.මීටර් 50ක පමණ විශාලත්වයකින් යුතු ඩෙල්ෆ් දූපතට ආරක්ෂාව සලසනුයේ ‘වසභ’ නාවික හමුදා කඳවුරයි. කොමාන්ඩර් ඇන්ටන් ප‍්‍රනාන්දු එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරයි. ඔහු මට ඩෙල්ෆ් දූපත පුරා සැරිසැරීමට අවස්ථාව ලබා දුන්නේය. එය පැය 04ක පමණ සංචාරයක් විය. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ ග‍්‍රාමසේවා කොට්ඨාස 06කින් සමන්විත එම දූපතේ ජනගහනය 4129කි. පොලිස් ස්ථානයක්, රෝහලක්, පාසල් 08ක්, අධිකරණයක්, හින්දු කෝවිල් හා කතෝලික දේවස්ථාන කීපයක් ඇත. අබලන් තත්ත්වයේ මාර්ග බොහොමයකි.

ජනගහනයෙන් 60%ක් කතෝලික ආගමිකයන් වන අතර ඉතිරි 40% හින්දු ආගමිකයෝ වෙති.

ධීවර කර්මාන්තය ප‍්‍රධාන ජීවන වෘත්තීය යි. තල් ආශ‍්‍රිත නිෂ්පාදන කටයුතු ද සිදුකෙරේ.

නාවික හමුදාව විසින් දූපත්වාසීන්ට රැකියා ලබා දෙමින් ඇඟලූම් මැහුම් ආයතනයක් පවත්වාගෙන යයි. නාවික හමුදාවට අවශ්‍ය නිල ඇඳුම් මැසීම එහි සිදුකරයි. තරුණ තරුණියෝ රැසක් එහි සේවය කරති.

ඩෙල්ෆ් දූපතේ මා කළ සංචාරයේදී මුලින්ම ගියේ බයෝටැබ් (Biotab) ගස බැලීමටයි. එම ගස ඉතා විශාල ගසකි. අප‍්‍රිකානු, අරාබි හා අනෙකුත් නිවර්තන කලාපවල වැවෙන මෙම ගස ඇඩසෝනියා කුලයට අයත් ශාකයකි. දැඩි නියඟයට ඔරොත්තු දෙන මෙම ශාකයේ සුවඳ මල් පිපෙන අතර මෙහි හටගන්නා ඵල ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බව කියති. ඩෙල්ෆ් හෙවත් නැදුන්තීව් දූපතේ ලියලන ගල නමින් දුර්ලභ ගලක් ඇත. එම ගල ඉතා කුඩාවට තිබී නිතරම ලියලමින් විශාල වෙමින් පවතින බව පැවසේ.

ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි කෞතුක ස්මාරක අතරින් අතීතය සොයා ගියෙමි…

දූපතේ බටහිර කෙලවරේ මුහුදු වෙරළ තීරයට ගියවිට පැරණි ප‍්‍රදීපාගාරයකි. ක්වීන්ස් ටවර් (Queens Tower) ලෙස හැඳින්වෙන මෙම ප‍්‍රදීපාගාරය ලන්දේසි යුගයේ ඉදිකර ඇත. නැව්වලට සංඥා ලබාදීමට ඉංග‍්‍රීසි පාලන කාලයේ ද මෙය මනා ලෙස ක‍්‍රියාකර ඇති බව වාර්තා වේ. දැන් අක‍්‍රීය තත්ත්වයේ පවතින මෙය නාවික හමුදා ආරක්ෂාව යටතේ පවතින කෞතුක වස්තුවකි.

ලන්දේසීන් විසින් මුලින්ම පාලනය කළ ඩෙල්ෆ් දූපත ඉන්පසුව ඉංග‍්‍රීසීන්ගේ පාලනයට නතුවී ඇත. එම පාලන සමයන් සිහිකෙරෙන බලකොටු,ගොඩනැඟිලි මේ වනවිට කෞතුක ස්ථාන ලෙස තිබෙන අතර ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතී. ලන්දේසි යුගයේ රෝහලක් ලෙස පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල බි‍්‍රතාන්‍ය යුගයේ දූපතේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගොස් ඇත.

එම ඉඩමේ කෞතුක ස්ථාන කීපයක් තිබේ. බි‍්‍රතාන්‍ය යුගයේ අධිකරණ සංකීර්ණය ඉන් එකකි. පණිවිඩ හුවමාරුව සඳහා ඇති කළ පරෙවියන් රඳවා සිටි පරෙවි කූඩු රැසක් ද එහි තිබේ.

ඩෙල්ෆ් දූපතේ පිහිටි තවත් වැදගත් ස්ථානයක් ලෙස පෞරාණික බෞද්ධ දාගැබක නටබුන් තිබෙන ස්ථානය සැලකේ. මෙය මුහුදාසන්නව අප‍්‍රකටව තිබෙන අතර ඊට කොඞ්ඩාඉල්කාඩු වෙහෙර යන නම භාවිත කරන බව පමණක් පැවසේ. ඊට වඩා විස්තර කිසිවක් දැන ගැනීමට නොලැබුණි. සංචාරක ව්‍යාපාරයට වැදගත් වටිනාකමක් දෙන දුර්ලභ දසුන් රැසකින් සමන්විත ඩෙල්ෆ් දූපතේ ජන ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම්වල අඩුපාඩු රැසක් පවතී. නාවික හමුදාව විසින් ජනතාවට විශාල සේවයක් සලසයි. එය ආරක්ෂාව සැපයීමටත් එහා ගිය සමාජ සත්කාරයකි.

ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි කෞතුක ස්මාරක අතරින් අතීතය සොයා ගියෙමි…

නීතිය හා සාමය රැකීමට පොලිස් ස්ථානයක් තිබේ. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත කුමාර දොඹගම්මන මහතා එහි ස්ථානාධිපති ලෙස කටයුතු කරයි.

සෙසු දූපත්වල දැකිය නොහැකි දුර්ලභ දසුනක් ඩෙල්ෆ් දූපතේදී අදටත් දැකිය හැක. ඒ දූපත පුරා සිටින අශ්වයන්ය. මෙම අශ්වයන් පැවැතෙන්නේ ලන්දේසීන් විසින් දූපතට ගෙනා අශ්වයන් ගෙනි. මණ්ඩතීව්,කයිට්ස්,පුන්ගුඩුතිව් දූපත්වලට යාපනය නගරයේ සිට යෑමට ගොඩබිම් මාර්ග ඉදිවී තිබෙනුයේ එම දූපත් එකිනෙකට සමීපව පිහිටා තිබීම නිසාය. කරෙයිනගර් දූපත යාපනය නගරයට තරමක් දුරින් පිහිටිය ද ඊට යෑමට ද ගොඩබිම් මාර්ගයක් ඇත.

මේ දූපත් සියල්ලට වඩා දුරින් පිහිටි ඩෙල්ෆ් දූපතට යෑමට තිබෙන එකම මඟ මුහුදින් බෝට්ටුවලින් යෑම පමණකි. යාපනය ගැන කියූවිට කියැවෙන තවත් වැදගත් ස්ථානයකි හැමන්හිල් දූපත. ඇත්තෙන්ම එය ඉතාම කුඩා දූපතකි. කරෙයිනගර් දූපත සමීපයේ මෙය පිහිටා ඇත.

හිටපු ජ.වි.පෙ නායක රෝහණ විජේවීර 1971දී මාස 03ක් පමණ රඳවා තබා සිටි බන්ධනාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ද මෙම හැමන්හිල් බලකොටුවේ ය.

පෘතුගීසින් විසින් 1618 දී ඉදිකළ මෙම බලකොටුව 1658දී ලන්දේසීන් අතට පත්වී ඇත. මුලින් ලීයෙන් තනා තිබූ බලකොටුව ලන්දේසීන් විසින් කොරල්පර උපයෝගී කරගෙන ශක්තිමත්ව වැඩි දියුණුකර ඇත.

නිලධාරී නිවස්න 02ක්,ගබඩා කාමර හෙවත් පසුව සිරකුටි ලෙස පවත්වාගෙන ගිය කුටි 09ක්,නිරීක්ෂණ මුර කුටි 05ක්,කාලතුවක්කු ස්ථානගත කිරීම් 19ක් සහිතව ප‍්‍රභල බලකොටුවක් ලෙස පවත්වාගෙන ගිය මෙය 1815දී ඉංග‍්‍රීසීන්ගේ පාලනයට නතුවී තිබේ. ඔවුන් විසින් මෙහි ලාදුරු රෝගීන් රඳවා තබා ඇත.

1950දී රාජකීය ලංකා නාවික හමුදාවට පවරා ගෙන 1960 සිට 1970 දක්වා ලන්දේසි ජාතික පවුල් 02කට කුලී පදනම මත දී තිබූ බලකොටුව 1970දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

1980දී නැවත ශ‍්‍රී ලංකා නාවික හමුදාවට පැවරූ මෙම හැමන්හිල් බලකොටුව 2008 වසර දක්වා නාවික හමුදාවේ වරදකරුවන් රඳවා තැබූ චරිත ශෝධනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

ඩෙල්ෆ්ට් දූපතේ ඉපැරැණි කෞතුක ස්මාරක අතරින් අතීතය සොයා ගියෙමි…

2012 වසරේ සිට නාවික හමුදා නිකේතනයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මෙහි ආහාර හා නවාතැන් පහසුකම් සපයයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නගේ පූර්ණ මෙහෙයවීම හා උපදෙස් මත උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා විසින් යාපනයේ දූපත්වලට ආරක්ෂාව හා ජන ජීවිතය නඟාසිටුවාලීමට සහාය දෙමින් උතුරේ නාවික හමුදාව මෙහෙයවයි. ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් මෙරටට නීති විරෝධීව ගෙන එනු ලබන කේරළ ගංජා අත්අඩංගුවට ගැනීම ද උතුරු නාවික ආඥාපති විධානයේ ප‍්‍රමුඛ කාර්යයක් වී ඇත. ඒ අනුව 2021 වසරේ මේ දක්වා කේරළ ගංජා ටොන් 05ක් පමණ අත්අඩංගුවට ගැනීමට උතුරු විධානයේ නාවික හමුදාව සමත්වූ බව උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා පැවැසීය.

යාපනය නගරය ප‍්‍රමුඛ අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න.

(මතු සම්බන්ධයි)

සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment