ඩෙල්ෆ් ඝාතකයා රත්තරං ගන්න පහක් මරලා

468

පවුම් 25 ක රත්‍රං සමග සැකකරු අත්අඩංගුවට
සංචාරකයකු ලෙස ගොස් දින 3ක් රැඳී සිට ඝාතන කරලා

යාපනය – ඩෙල්ෆ් දූපතේදී එකම පවුලේ තිදෙනකු ඇතුළු 5 දෙනකු කපාකොටා අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රධාන සැකකරු යාපනය පොලිසිය මගින් පුන්කුඩුතිව් ප්‍රදේශයේදී පෙරේදා (22දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් ඝාතකයා රත්තරං ගන්න පහක් මරලා

සංචාරකයකු ලෙස ඩෙල්ෆ් දූපතට ගොස් දින තුනක් නැවතී සිට සැකකරු මෙම ඝාතන සිදුකර පවුම් 25 ක පමණ රත්තරන් (මාල, වළලු) රැගෙන පලාගොස් සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ සොරා ගැනීම සඳහා මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය හෙළිකර ගෙන ඇත. ඝාතන සිදුකළ බව කියන ආයුධය දූපතේ සඟවා ඇති බව හෙතෙම පවසා ඇත. සැකකරු සම්බන්ධයෙන් පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 70 ඉක්මවූ එකම පවුලේ සහෝදරයන් 3 ක්, එක් කාන්තාවකගේ සැමියකු සහ තවත් ඥාති පුද්ගලයෙකි. පෙරේදා (22 දා) අලුයම 5.00 ත් 6.00 ත් අතර මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ඝාතකයාද 51 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය පවසයි. සැකකරුගේ පවුලේ 10 ක් සිටින අතර ඉන් 7 දෙනකු මේ වන විට විදේශගතව සිටින බවත් සැකකරුද ජර්මනියේ සිට 2019 වසරේදී මෙරටට පැමිණ ඇති බවත් හෙළිකර ගෙන තිබේ. ඔහුගේ අක්කා සහ මල්ලී පුන්කුඩුතිව්හි නිවසක සිටින අතර සැකකරු ඝාතනයන් සිදුකිරීමෙන් පසු එම නිවසට ගොස් ඇති බවද හෙළිකරගෙන තිබේ.

ඔහුගේ නිවසේ සිටින අක්කා සහ මල්ලීද සැකකරු මෙරට සිටිනවාද, විදේශගතව සිටිනවාද යන්න නොදැන සිට ඇති අතර ඔහු නිවසට පැමිණ ඇත්තේ ඝාතන සිදුකිරීමෙන් පසුව බවද හෙළිවී තිබේ. සැකකරු මනුෂ්‍ය ඝාතන සිදුකර සොරාගත් මුදු 08ක්, වළලු 05 ක්, කරාබු 02 ක්, පෙණ්ඩනයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය සොයාගෙන තිබේ.

යාපනය දිසාව භාර සහකාර පොලිස් අධිකාරී සුජීව ඉද්දමල්ගොඩ මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස් ස්ථානාධිපති චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් යාපනය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙවනායගම් මෙනන්, උප පොලිස් පරීක්‍ෂක සුජීව ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, නෝමන් පළිහවඩන, දිනසේන රතුගමගේ, මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment