ඩොක්ටර් ජැක් සහ මිස්ටර් විස්ල්

933

බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ජැක් එකක් ගැසූ 34 හැවිරිදි දොස්තර කෙනකු තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ දොස්තර බස්නාහිර පළාතේ මූලික රෝහලක වැඩකරන කෙනෙකි. ඔහු ජැක් එක ගැසීමට පෙර හෙදිය වීඩියෝ කර ඇති බවත් කරටි කැඩෙන ලෙස මත්පැන් පානය කර තිබූ බවත් දැනගන්නට තිබේ. ඒ අතර ස්වකීය නිවස ආසන්නයේ හෙළුවැල්ලෙන් සිටගෙන මහ පාරේ ගමන් කරන කාන්තාවන්ට විස්ල් එකක් ගසා නිරුවත පෙන්වූ මිනුවන්ගොඩ පදිංචිකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබේ. ප්‍රදේශයේ පදිංචිකාරයන් තිදෙනෙක් අවස්ථා තුනකදී මේ පුද්ගලයා ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.

කාමය යනු සත්ව සංහතියේ පැවැත්මට සහ ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධකය වේ. කාමය නිසා හටගන්නා ශාරීරික අවශ්‍යතා අනුව තිරිසන් සත්තු මහ පාරේදීත් මිනිස්සු ආවරණය වූ ස්ථාන තුළත් ක්‍රියාත්මක වෙති. මේ අතර කාමය යනුවෙන් පිස්සුවක්ද තිබේ. මෙය වැළඳුනු විට බරපතළ සමාජ විරෝධී තත්ත්වයක් හටගන්නා අතර එය මැඬපැවැත්වීමට නම් උසාවි, පොලිසි, සහ මානසික රෝහල්වල මැදිහත්වීම අවශ්‍යය. අද මෙම කතුවැකියට පාදක වන සිදුවීම් දෙකම කාම පිස්සන් දෙදෙනකුගේ ක්‍රියා කලාපය ලෙස අර්ථ නිරූපණය කිරීමට පුළුවන. ඒ අනුව වඩාත්ම යෝග්‍ය පියවර වශයෙන් පොලිසියේ සහය පැතීමට වින්දිතයන් විසින් කටයුතු කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවට අන්තර්ජාලය පැමිණීමත් සමගම කාමය සහ ඊට අදාළ ශාරීරික ක්‍රියාවලීන් ගෙදර දොරේ කටයුතු බවට පත්විය. මේ වන විට අන්තර්ජාලයේ ඇති වෙබ් සයිට් 3000 ක පමණ නිල් චිත්‍රපට දස ලක්ෂයකට වඩා ගබඩා වී තිබේ. මේ සියල්ල බලා නිම කිරීමට ආත්ම දහයක් පමණ අවශ්‍යය.

මේ දිනවල ලැබෙන වාර්තාවලට අනුව sex යන වචනය අන්තර්ජාලයෙහි වැඩිපුරම ටයිප් කරන රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ. මීට අවුරුදු 40 ට පමණ පෙර මේ රටේ මිනිහකුට බ්ලූ ෆිල්ම් එකක් බලන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. එකල අන්තර්ජාලය, සී ඩී තැටි හෝ බ්ලූ ෆිල්ම් අඩංගු වීඩියෝ කැසට් තිබුණේ නැත. එකල බහුල වශයෙන්ම තිබුණේ මිලි මීටර් 8 සේයා පට මගින් කුඩා ප්‍රොජෙක්ටර් යොදාගෙන පෙන්වන කළු සුදු බ්ලූ ෆිල්ම් පමණි. මේවා පෙන්වන ලද්දේ ගංජා කාමර වැනි කුඩා ගුබ්බෑයම් තුළය. මේ ගුබ්බෑයම තුළට එකතුවන තිස් හතළිස් දෙනකුගෙන් එකකුගෙන් රුපියල් 5 ගණනේ අයකර ප්‍රොජෙක්ටර් මගින් බ්ලූ ෆිල්ම් පෙන්වීම සිදුවිය. බ්ලූ ෆිල්ම් එක පෙන්වන අතර සමහරු මත්පැන් පානය කළහ. තවත් සමහරු ගංජා සුරුට්ටු ගැසූහ. ඇතැම්හු සිගරට් ඉරූහ. අඩුම සමාජ මට්ටමක් ඇති දුප්පත් ප්‍රේක්ෂකයෝ බීඩි දුම් පානය කළහ. ඒ නිසා බ්ලූ ෆිල්ම් පෙන්වූ කුඩා ගුබ්බෑයම් සමාන වුණේ රබර් රොටි වේලන දුම් කාමර වලටය. මේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නිමාවට පත් කරමින් ලෝක තාක්ෂණය දියුණු විය. වීඩියෝ කැසට් ප්ලේයර්, සී ඩී ප්ලේයර් යනාදිය ක්‍රමයෙන් මෙරටට පැමිණි අතර කාම චිත්‍රපට සඳහා ප්‍රවේශ වීමට වඩාත් පහසු විය. අද නම් sex film එකක් බැලීම් තත්පර දෙක තුනක සුළු ව්‍යායාමයකි. අතේ තිබෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඉතා පහසු ලෙස නිල් චිත්‍රපට බැලිය හැකිය. එසේම රුපියල් 3000 සිට රුපියල් ලක්ෂය දක්වා මිල ගණන් වලට ලිංගික කටයුතු සඳහා තරුණියන් අලෙවි කරන වෙබ් සයිට් මෙරට අන්තර්ජාලයේ තිබේ.

කාමය සහ ලිංගිකත්වය යනු ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ බව අපි මෙහි මුලින්ම කීවෙමු. එය මූලික මනුෂ්‍ය අවශ්‍යතාවකි. එහෙත් එම අවශ්‍යතාව උමතුවක් වන්නේ නම් එය භයානකය. ඔබ ඉදිරිපිට නිරුවතින් සිටින තරුණිය පිළිබඳ ඔබ තුළ කාම සිතක් ඇතිවන්නේ නම් එය ඔබේ වරද මිස නිරුවතින් සිටින තරුණියගේ වරද නොවන බව බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත. ඒ නිසා ඩොක්ටර් ජැක් සහ මිස්ටර් විස්ල් යන දෙදෙනාම වරදකරුවෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment