ඩොලරය ගිල්ල 2022

136

මේ වසර (2022) ලංකා ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක වසරකි. මීට පෙර කිසිම වසරක අපේ විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට අප රට පත්ව නැත. එසේ පත්ව විදෙස් ණය ගෙවීම ඒකපාර්ශ්විකව අත්හිටුවා නැත. රටේ වරින් වර විදේශ විනිමය අර්බුදය උග්‍ර තත්ත්වයන්ට පත් වුව ද කෙසේ හෝ විදේශ ණය ගෙවාගෙන විදේශ ණය ගෙවීමට අලුතින් විදේශ ණය ගනිමින් පවා මෙතක් කලක් එම ප්‍රශ්න සමනය කරගෙන විදේශ ණය සේවාකරණය කරගෙන යෑමට හැකිව තිබේ. එහෙත් අවසානයේ මේ වර්ෂයේ (2022) අප්‍රේල් 12 වැනිදා අපට නිල වශයෙන් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. අපට ඒ බව නිවේදනය කිරීම පමණක් ගෙන දොස් පැවරීම සාධාරණ වන්නේ නැත. ඒ තත්ත්වයට පත්වීමට ඊට පෙර අනුගමනය කළ ප්‍රතිපත්ති බලපෑ බව රහසක් නොවේ. එසේ නොමැතිව විදේශ ණය තවදුරටත් ගෙවා ගෙන යෑමට හැකි තත්ත්වයක් තිබුණේ නම් ඒ සඳහා විදේශ සංචිත ශක්තිය රටේ පැවතියේ නම් කිසිවිටෙකත් විදේශ ණය ගෙවීම අත්හිටුවීමට අවශ්‍ය වන්නේ නැත. මේ නිසා රට බංකොළොත් කිරීම සහ ඒ තත්ත්වයට රට පත් වීම නිසා විදේශ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට 2022 අප්‍රේල් 12 දින මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සිදුවීම එකක් නොව දෙකකි. ඒ ගැන විවිධ අයට විවිධ අර්ථකථන සිදු කළ හැකි වුවද දැන් එය සිදුව අවසන්ය. දැන් තිබෙන්නේ එතැන් සිට ඉතිහාසයේ රට මුහුණ දී සිටින මේ බලවත්ම ආර්ථික අර්බුදය සමනය කරගනිමින් ස්ථාවර ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කිරීමයි.

දැනට මේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නොයෙක් විවේචන ද නැතුවා නොවේ. මේ විවේචන සිදු කරන ඇතැම් අය අතර නිසි තීන්දුතීරණ නොගනිමින් සහ වැරදි තීන්දු ගනිමින් මේ දරුණු ආර්ථික අගාදයට රට පත් කිරීමට දායක වූ අය ද නැතුවා නොවේ. ඒ සඳහා බලපාන ලද දිගුකාලීන හේතු සහ ආසන්න හේතු ද අප ඊට පෙර සාකච්ඡා කර තිබේ. කෙසේ හෝ දැන් අයි.එම්.එෆ්. එකේ සහාය ලබා ගනිමින් එහිදී අප විසින් සිදු කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරමින් වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන පරිදි අප මුහුණ දී සිටින වත්මන් විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එකේ සහාය නිල වශයෙන් ඉල්ලා ඇත්තේ ඔහු මහ බැංකු අධිපති වීමට පෙර 2022 මාර්තු 18 වැනිදාය. ඒ එවකට මහ බැංකුවේ නිර්දේශ ප්‍රකාරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ අවස්ථාවේ මුදල් ඇමැතිවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතාය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ එස්.ආර්. ආටිගල මහතාය. දැන් ගෝඨාභය මහතා ජනාධිපති ධුරයේ ද නැත. ඒ වෙනුවට දැන් ජනපති ධුරයේ සහ මුදල් ඇමැති ධුරයේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහින්ද සිරිවර්ධන මහතාය. 2022 අප්‍රේල් 07 දින සිට මහ බැංකු අධිපතිධුරයේ සිටින්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාය. මේ සියලු දෙනා අයි.එම්.එෆ්. සහාය ගැනීමට තීරණය කළ අය නොව ඔවුන් පත්වීමට පෙර ගෙන තිබූ තීරණය ඉදිරියට ගෙන යමින් සිටින පිරිසයි. කෙසේ හෝ අයි.එම්.එෆ්. යෑමට ගත් තීරණය නිවැරදි එකක් වන අතර එම තීරණය ගැනීමට බොහෝ ප්‍රමාද වීම නිසා එනම් කලට වෙලාවට අයි.එම්.එෆ්. නොයෑම නිසා අපට බලවත් විපාක විඳීමට සිදුව ඇත. අප මෙතෙක් 16 වතාවක් අයි.එම්.එෆ්. ගොස් තිබුණත් ඒ සෑම අවස්ථාවකම අපට ණය තිරසරභාවය තිබුණි.

එනම් විදේශ ණය කෙසේ හෝ ගෙවාගෙන යෑමේ හැකියාව තිබුණි. එහෙත් මෙවර අපට අයි.එම්.එෆ්. යෑමට සිදුව ඇත්තේ අපගේ විදේශ ණය ගෙවාගෙන යෑමට නොහැකි තත්ත්වයක සිටය. එනම් ණය තිරසාරභාවය නොමැති තත්ත්වයක සිටය. මේ නිසා අපේ රටේ මේ අස්ථාවර තත්ත්වය අනුව අපට පෙර අවස්ථාවල දී මෙන් සැලකීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකියාවක් නැත. එනම් අප සහාය ඉල්ලා සිටියත් අපට අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරමින් ණය තිරසරභාවය ගැන සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීමට සිදු වේ. එසේ සිදුකර ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමෙන් පසු සති තුන හතරක් ඇතුළත අපට අප ඉල්ලා ඇති මූල්‍ය පහසුකමට අදාළ අයි.එම්.එෆ්. විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකි වේ. ඉන් පසුව අපට අනුමත වූ ණය මුදලට අදාළ පළමු වාරිකය හෝ එකවර වාරික දෙකක් අප වෙත නිදහස් කිරීම සිදුවනු ඇත. ඒ සමගම අපට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද මූල්‍යමය සහය ලැබීමට නියමිතය. ඒ නිසා අයි.එම්.එෆ්. එකෙන් අපට ලැබෙන මුදලට වඩා වැදගත් වන්නේ අයි.එම්.එෆ්. මූල්‍ය පහසුකම් ලබාදෙන වැඩසටහනකට අප ඇතුළත් වීමයි. අපට ඒ සඳහා තවමත් ලැබී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පමණි. අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය පැත්තෙන් යම් ප්‍රමාදයක් තිබේ. මේ සඳහා චීනයේ සහාය ලැබී ඉතා කෙටිකලක් තුළ අයි.එම්.එෆ්. මූල්‍ය පහසුකම සඳහා අපට එහි විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකිවනු ඇත. ඒ නිසා මේ ක්‍රියාවලියේ දී චීනය ඉතා තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. මේ වන විට ලැබෙන ආරංචි අනුව අපට මෙම අනුමැතිය මේ වසරේ (2022) ලබාගත නොහැකිවනු ඇත. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ද මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය සහනය සඳහා අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීම තවදුරටත් පමාවිය හැකි බවයි.

මුලින් එම අනුමැතිය මේ මාසයේ (දෙසැම්බර්) ලබාගත හැකිවනු ඇති බව අපේක්ෂා කළ අතර ඉන් පසුව එය ජනවාරි මාසයේ දී ලබාගත හැකිවනු ඇති බව අපේක්ෂා කළේය. ඒ අනුව දැන් ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එම අනුමැතිය ජනවාරි මාසයේද නොලැබීමට ඉඩ ඇති බවය. 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජයේ උත්සාහය බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එම සාකච්ඡාවේ දී තවදුරටත් පවසා ඇත. එනම් මෙම අනුමැතිය ලැබීම ප්‍රමාද වන ලකුණු හොඳටම පෙනෙන්නට තිබේ. එසේ වුවහොත් අපට ආර්ථික දුෂ්කරතා සමග ගත කිරීමට සිදුවෙන කාලය ද තවත් දික්වනු ඇත. එනම් අප මුහුණ දී සිටින විනිමය අර්බුදය කෙටිකාලීනව සමනය කර ගැනීමට ලැබෙන ඉඩකඩ සීමා වනු ඇත. ඇත්තවශයෙන්ම මේ ප්‍රමාදය ඇත්තේ අයි.එම්.එෆ්. එකේ නොව අපගේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේය. එනම් අප චීනයෙන් අපේක්ෂා කරන මූල්‍ය ආරක්ෂණය ලබා දීම සඳහා චීනයේ සහාය කවදා ලැබෙනු ඇති ද යන්න ගැන තවමත් නිශ්චිතව යමක් ප්‍රකාශ කිරීමට අපහසුය. එනම් චීනයෙන් අපට සහාය ලැබෙනු ඇති නමුත් ඒ සඳහා හරිහැටි දින වකවානු කීම අපහසු කාරණයකි. කෙසේ හෝ චීනයේ සහාය ලබා ගැනීමේ ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් බලධාරීන් දැන් කටයුතු කරමින් සිටී. අපට කිරීමට තිබෙන්නේ එම සහාය ලැබෙන පරිදි කළ හැකි දේ කිරීමයි. බලධාරීන් පවසන දේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවල දැනට ප්‍රගතියක් පෙනෙන්නට තිබේ. එහෙත් මෙය ප්‍රමාද වීම මත අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය පහසුකම සඳහා අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීම ද ප්‍රමාද වනු ඇත. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ප්‍රමාදය ඇත්තේ එතැනය. කෙසේ හෝ අපට වෙනත් විකල්පයක් නැත. මේ ගමනේ අපි දැන් ගමන් කරමින් සිටිමු. එහෙත් එම ක්‍රියාවලියේ අප දකින වැරදි සහ අඩුපාඩු ද නැතුවා නොවේ. ඒවා ද නිවැරදි කරගත යුතුව ඇත. මහජනයාගේ පැත්තෙන් නම් පටි තද කර ගැනීම උපරිම ලෙස සිදුව ඇතත් රජයේ පැත්තෙන් එම ආදර්ශය නිසි පරිදි තමවත් ලැබී නැත. මේ වසරත් (2022) ලබන වසරත් (2023) අපට ඉතාමත් දුෂ්කර පීඩාකාරී වසර දෙකක් වනු ඇත.

ආර්ථික ක්‍රියාකාරකම්

මේ වසරේ (2022) ආර්ථික වර්ධනය ඉතිහාසයේ වැඩිම සංකෝචනය වාර්තා කරමින් සියයට 8.7 කින් පමණ ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් මේ වසර මුලදී අපේක්ෂාව තිබුණේ කෙසේ ද ? මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් කළ මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ මේ වසරේ (2022) ආර්ථික වර්ධනය සියයට එකකට සීමා වනු ඇති බවයි. එනම් මේ වසරේ (2022) අප්‍රේල් මාසය වන විටත් මේ වර්ෂයේ ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි මහ බැංකුව පවා අපේක්ෂා නොකළේය. කෙසේ වෙතත් නොයෙකුත් හේතු නිසා මේ වසරේ ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කළේය. ඒ සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් මස නිකුත් වූ 2021 වසරට අදාළ මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙසේ ය.

මහ බැංකුවේ අපේක්ෂාව

‘විදේශීය සහ රාජ්‍ය මූල්‍ය යන අංශ දෙකෙහිම උග්‍ර අවදානම්, සමාජ නොසන්සුන්තාවය සහ දේශපාලන අස්ථාවරත්වය ඉහළ යෑම, වසංගතයේ බලපෑම්, දේශීය බලශක්ති අර්බුදය සහ ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් ඉහළ ගිය භාණ්ඩ මිල ගණන් හේතුවන් ඇති වූ සාර්ව ආර්ථික අස්ථාවරත්වය, 2022 වසරේ අපේක්ෂිත වර්ධනය සැලකිය යුතු ලෙස පහළ දමනු ඇතැයි අපේක්ෂා කරන අතර, නුදුරු අනාගතය මත ද බලපෑම් ඇති කරමින් වර්ධනය මන්දගාමී කරනු ඇත. එසේම රජය විසින් අන්තර්කාලීනව විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සඳහා යොමු වීම මධ්‍යයේ ආර්ථික කටයුතු තවදුරටත් මන්දගාමී වීමට ඉඩ ඇත.’

මේ වසරේ (2022) අප්‍රේල් මාසයේ මහ බැංකුව අපේක්ෂා කළේ එසේය. එහෙත් දැන් ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ඔබ්බට යමින් සැලකිය යුතු ඍණ ආර්ථික වර්ධනයක් මේ වසර (2022) සඳහා වාර්තා කිරීමට නියමිතය. මේ තත්ත්වය ලබන වසරට (2023)දී අදාළය. එනම් ලබන වසරේ දීද මේ වසරට වඩා අඩු ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවට පුරෝකථනය කර ඇත. මේ අනුව අපගේ ආර්ථිකයේ කිසියම් වර්ධනයක් ඇතිකරගත හැකි වනු ඇත්තේ 2024 වසරේ සිටය. එනම් ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු සීමා වනු ඇති බවයි. මේ හේතුව නිසා කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වීම, සේවකයන්ට රැකියා අහිමි වීම මෙන්ම, ආදායම් මට්ටම් අඩු වීම යනාදී බොහෝ ප්‍රතිඵලවලට මුහුණ දීමට අපට සිදුවනු ඇත. මේ අත්දැකීම් අප දැනටමත් විඳ ඇත. එනම් ඇතැම් අයට රැකියා අහිමි වීම, බොහෝ දෙනෙක්ට රැකියා අහිමි නොවුණත් ඇතැම් විට කොවිඩ් වසංගතයෙන් පසු මේ දක්වා බෝනස් ලැබී නැත. වැටුප් වර්ධක ලැබී නැත. ආයතනයෙන් ඔබට එතෙක් ලැබුණු බොහෝ පහසුකම් සීමා කර ඇත. මේ සඳහා තවත් දිග ලැයිස්තුවක් සඳහන් කළ හැකිය. මේ අතරම රටේ උද්ධමනය සියයට 70 ද ඉක්මවා ගොස් බඩු මිල අහස උසට වැඩිවී ඇත. දැන් උද්ධමනය ඔක්තෝබර් මස සිට අඩු වෙමින් තිබුණත් එහි අදහස බඩු මිල හෙවත් රටේ පොදු මිල මට්ටම අඩුවන බව නම් නොවේ. බදු මිල වැඩි වීමේ වේගය මන්දගාමී වෙමින් පවතින බවයි. ඒ අනුව සියයට 70 ද ඉක්මවා ගිය උද්ධමනය ඉකුත් නොවැම්බර් මාසයේ දී සියයට 65ක් දක්වා පමණ අඩු වී ඇත. අනිත් අතට විදුලි බිල්, ජල ගාස්තු ඇතුළු බොහෝ ගාස්තු වැඩි වී ජනයාට ජීවත් වීමට අපහසු තත්ත්වයකට පත්ව ඇත.

ඩොලරය ගිල්ල 2022

මේ පසුබිම් තුළ අපට පැහැදිලි වන්නේ මේ වසර (2022) මෙන්ම අනාගතයේ දී ද අපට බොහෝ ආර්ථික පීඩා සහ දුෂ්කරතා මැද ජීවත් වීමට සිදුවනු ඇති බවයි. රජය ද සිය වියදම් උපරිම ලෙස සීමා කර ගනිමින් ජනයා මත තව තවත් බර පටවන්නේ නැතුව මහජනයාට අවම පීඩාවක් දැනෙන පරිදි සිය ආර්ථික කළමනාකරණය මෙහෙයවීම සිදුකළ යුතුව ඇත. මේ වර්ෂය (2022) අප සියලු දෙනාම දන්නා පරිදි ජනතා අරගලයකින් මහජන අපේක්ෂා ඉටු නොකළ පාලකයෙක් පන්නා දැමූ වසරකි. මෙවැනි දෙයක් ද ඉතිහාසයේ මින් පෙර කවර කලෙකවත් සිදු වී නැත. ඒ නිසා මෙය ඉතාමත් සුවිශේෂී වසරකි. එබැවින් පාලකයන් හැම විටම තමන්ට වරම දුන් ජනයාගේ අපේක්ෂා ගැන සිතමින් රටේත්, ජනයාගේත් අනාගතය යහපත් කිරීමට ඉතාමත් දූරදර්ශී තීරණ ගනිමින් රාජ්‍ය පලනය කළ යුතු බව දැන් සිටින ජනවරමක් නැති එහෙත් ව්‍යවස්ථානුකූලව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් රජයට මෙන්ම රටේ අනාගතයේ පත්වෙන පාලකයන්ටත් අපි කියා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment