ඩොලර් අර්බුදයට ඉන්දීය රුපියලේ විසඳුම

5378

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන දැඩි විදේශ සංචිත හිඟය මඟහරවා ගැනීම සඳහා වන එක් විසඳුමක් වශයෙන් ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් දස දහසක වටිනාකමට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් ලාංකියන් සතුව තබාගැනීමට අවසර දෙමිනි.

මේ අනුව ඇමෙරිකානු ඩොලර් භාවිතයකින් තොරව ඉන්දීය රුපියල් මගින්ද ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි. ඩොලර් ද්‍රවශීලතා හිඟය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සිය ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර කිරීම සඳහා මෙය බෙහෙවින් උපකාරී වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකර සිටිති. මෙම තීරණය මගින් අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන වෙළෙඳාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්බුදකාරී අවස්ථාවේදී සුවිශේෂී වාසි හිමිවනු ඇති බවට විශ්ලේෂකයෝ මත පළකරති. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව සමග වෙළෙඳ ගනුදෙනුවලදී පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට මෙය මහඟු උපකාරයක් වනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් මත පළකර සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල් මෙතෙක් මෙරටෙහි නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

සාක් කලාපය සඳහා පොදු මුදල් ඒකකයක්?

මීට පෙර සාක් කලාපයේ පොදු මුදල් ඒකකයක් භාවිතා කරන යෝජනාවක් ඉදිරිපත් වූවත් එය සාර්ථකව ක්‍රියාත්මක නොවීය. එම වකවානුවේදී මෙම යෝජනාවට ඇතැම් දේශපාලන පක්ෂ විරෝධය පළකර තිබුණි.

මෙම තීරණය මගින් ඉන්දියානු රුපියල ආසියාතික රටවල් අතර ජනප්‍රිය කිරීම සහ ඇමෙරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීම ඉන්දීය රජය අපේක්ෂා කරනු ලබයි. එය කලාපයක් ලෙසට දකුණු ආසියාව තුළ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට දරන ප්‍රයත්නයේ එක් ප්‍රතිඵලයක් ලෙසට ද හැඳින්විය හැකිය. 2021-22 වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 6.81 ක් ලෙසට ගණන් බලා ඇති අතර එයින්ම දෙරට අතර සිදුවන ගනුදෙනුවල වටිනාකම පිළිබඳ වැටහීමක් ලබාගත හැක. මිලියන 22 ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව මාස ගණනාවක් තිස්සේ තම පුරවැසියන්ට ආහාර, ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමේ අරගලයක නිරතව සිටියි. අනෙක් අතට, ඉන්දියාව විසින් ගනු ලැබූ මෙම තීරණය ආසියානු රටවල් අතර ඔවුන්ගේ මුදල් ප්‍රචලිත කිරීමට සහ ඇමෙරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමට දරන උත්සාහයක් ලෙසටද සැලකිය හැකිය.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග දේශසීමා හරහා සිදු වන ගෙවීම් පහසුකම් සඳහා අවහිරතා පැනනඟින්න පටන් ගත් අතර ඊට විසඳුමක් ලෙසට ඉන්දියානු රුපියල කේන්ද්‍ර කරගෙන නව වෙළෙඳ යාන්ත්‍රණයක් ජූලි මාසයේ සිට හඳුන්වාදීමට ඉන්දීය බලධාරීන් කටයුතු කරන ලදී. මෙම නව යාන්ත්‍රණය තුළින් ඉන්දියානු රුපියල්වලින් ගෝලීය වෙළෙඳාම පියවීමට ඉඩ සැලසීය.

ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු ඇති කර ගැනීම පහසු කරන්නේ කෙසේද?

බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියානු රුපියල් තබා ගැනීමට හැකිවීම සඳහා මෙරට බැංකු මගින් ඉන්දීය රුපියල්වලින් මුදල් සංචිත පවත්වාගෙන යන නොස්ට්‍රෝ නැමැති ගිණුම් පවත්වාගෙන යා යුතුය. නොස්ට්‍රෝ ගිණුම් යනු ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ අනෙකුත් මූල්‍ය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශීය බැංකුවක් සමඟ බැංකුවක් විසින් විවෘත කරන ලද සහ එම විදේශ රටක මුදලින් විවෘත කරන ලද ගිණුම් වේ.

ඉන්දියානු රුපියල් භාවිතයට අවසර ලත් ලොව අනෙක් රටවල්

කොවිඩ් අර්බුදය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන නැඟී ඇති ආර්ථික අර්බුද මැද පවා ඉන්දියාව සමහර ප්‍රබල රටවලට වඩා වැඩි ආර්ථික ප්‍රගතියක් අත්කරගෙන සිටියි. අවශ්‍ය මොහොතේ තීරණ ගෙන ඉක්මනින් ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වය බව පැවසේ. ශක්තිමත් ආර්ථිකයක් සහිත ඉන්දියාවේ මුදල් තමන්ගේ රටවල ව්‍යවහාර කරන්නට ඉඩ දී ඇති ආසියානු රටවල් ගණනාවකි. නේපාලය, මාලදිවයින, භූතානය හා බංගලාදේශය යන රටවලට එම පහසුව ලබාදී ඇත. එම රටවල බැංකු ඉන්දීය රුපියල් භාරගන්නා අතර එම පහසුව ගැන සැලකිලිමත් වන පිරිස් කෙළින්ම ඉන්දියන් රුපියල්වලින් ගනුදෙනු කරන්නට සූදානම්ය.

සිම්බාබ්වේ රාජ්‍යය ද ඉන්දීය රුපියල් භාවිතයට ඉඩ දී ඇත. පසුගිය කාලයේ ඉරානයට ජාත්‍යන්තර සම්බාධක පනවන ලද අතර ඉන්දියාව හා ඉරානය අතර ගනුදෙනුවලදී ඉන්දියන් මුදල් නෝට්ටු භාරගෙන තිබේ. ඉන්දීය මහ බැංකුව නොබෝදා ගත් තීරණයක් අනුව රුසියාවට එම පහසුව ලැබෙනු ඇත. යුක්ක්‍රේනය හා ගැටුමක සිටින රුසියාව ඉන්දියාවෙන් සහා ලබාගන්නා අතර සිය වෙළෙඳ කටයුතු සඳහා ඉන්දීය මුදල් භාවිත කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා පළකර සිටියි. රොයිටර් වාර්තා කරන පරිදි රුසියාව සමග සිදු කරන ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් සිදු කිරීමට ඉන්දීය රාජ්‍ය බැංකු මේ වන විට කැමැත්ත පල කර ඇත. දැනට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයට විකල්පයක් වශයෙන් ඉන්දීය කර්මාන්ත, ව්‍යාපාර හා සංචාර අංශවලට ඉන්දීය රුපියල්වලින් ශ්‍රී ලංකාවේ වියදම් කරන්නටත්, ශ්‍රී ලංකාවේ රුපියල් ඉන්දියාවේදී පිළිගන්නටත් අදහසක් ඉදිරිපත්ව ඇත.

මීට වසරකට පමණ පෙර ඉන්දියානු රුපියලක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රු. 2.65 ක පමණ වියදමක් දරන්නට සිදුවිය. දැන් එය දෙගුණ වී තිබේ. දෙරට අතර ගනුදෙනුවලදී ඉන්දියානු රුපියලකට ශ්‍රී ලංකාවේ රු.5.05 ක් ගෙවන්නට සිදුවී ඇත. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වන විට මෙවැනි පිරිහීමක් සිදුවීම පුදුම සහගත දෙයක් ලෙසට සැලකිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ වැඩිපුරම සංචාරයේ නිරත සංචාරකයන් අතර පළමු තැන ඉන්දීය ජාතිකයන්ට හිමිවෙයි.

ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණනින් බෞද්ධ සිද්ධස්ථාන, සහ කොල්කටා, මුම්බායි යන නගරවල වෙළෙඳ කටයුතු සඳහා සම්බන්ධ වෙති. සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් තුන් දහසක් පමණ ඉන්දියාවේ විවිධ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබති. මෙම දිනවල එය දහසකට පමණ සීමා වී තිබේ. මෙම සියලු දෙනාම තම රටවලින් බැහැර වන විට විනිමය රෙගුලාසි අනුව ජාත්‍යන්තර හුවමාරු මුදල් වශයෙන් ඩොලර් මිල දී ගන්නට පෙළඹෙති.

ඩොලර් භාවිත කිරීම හේතුවෙන් අතරමැදි වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. තමන්ට කෙළින්ම ගනුදෙනු කරන අවස්ථාව තිබියදී වෙනත් හුවමාරු මුදල් ඒකකයක් මිල දී ගැනීම සඳහා දෙපැත්තකට වැඩිපුර ගෙවන ව්‍යුහයක් නිර්මාණය වී ඇති අතර එය කාර්යක්ෂමතාවයට බාධාවකි. ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම පාලනය කරන විධිමත් උපාය මාර්ග අනුගමනය කළහොත් ඍජු ආර්ථිකයක් සකස්වනු ඇති අතර ඉන් වාසි අත්කරගත හැකිය. එහි වාසිය පාරිභෝගිකයන්ට හිමිකර දිය හැකිය.

කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාව ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පවතින ගෝලීය ප්‍රවණතා හමුවේ ගෙන ඇති බුද්ධිගෝචර ක්‍රියාවක් ලෙසට සඳහන් කළ හැකිය. යුරෝපා හවුලේ රටවල් විසි හතක් අතරින් රටවල් දහ නමයක් යුරෝ මුදල් ඒකකය පොදුවේ භාවිත කරයි. දේශ සීමා හරහා නිර්බාධිතව ගමන් කොට එකම මුදල් ඒකකයක් මගින් තමන්ට අවශ්‍ය එදිනෙදා කටයුතු කර ගැනීමට හැකිවීම විශාල වාසියක් එහි ජනතාවට උදාකර දී ඇත. ශ්‍රී ලංකාවට ද මෙවැනි වාසිදායක අංශ ගැන අවධානය යොමු කිරීමට අවස්ථාව උදාවී ඇත. විදේශ විනිමය සඳහා ඩොලර් හිඟ ශ්‍රී ලංකාව ඉන්දියාව සමග රුපියල්වලින් ගනුදෙනු ආරම්භ කළහොත් එය මෙරට තුළ වෙනම ආර්ථික ප්‍රගමනයක් ඇති කරන අවස්ථාවකි.

සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment