ඩොලර් අර්බුදයෙන් රට මුදා ගැනීමට පුනර්ජනනීය බලශක්තිය

186

අප කවුරුත් දන්නා පරිදි අද ශ්‍රී ලංකාවේ පවතින සියලු ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට පාදක වී ඇත්තේ රට තුළ පවතින මහා බල ශක්ති අර්බුදය හේතු කොටගෙන ශීඝ්‍රයෙන් වැඩිවන බල ශක්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් හා ගල්අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය අතිවිශාල ඩොලර් සම්භාරය භාණ්ඩාගාරය සතුව නො මැතිවීමය. මෙම ඩොලර් හිඟය හේතු කොටගෙන අද රට තුළ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතී.

මීට දශක තුනකට පමණ පෙර ලංකාවේ නිවාසවලින් විදුලිය ලබා දී තිබුණේ සියයට 20කට පමණක් වුව ද අද රටේ සියලු ප්‍රදේශවල ඇති සියයට 95 පමණ නිවාසවලට විදුලිය සපයා ඇත. තවද මෙම කාලපරිච්ඡේදය තුළ රටේ විදුලියෙන් ක්‍රියාකරන කර්මාන්ත සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව නො රහසකි.

රටේ දෛනික බල ශක්ති අවශ්‍යතාවය සැලකිල්ලට ගත් කළ ඊට පුනර්ජීවන බල ශක්තිය මගින් ලබා ගන්නා දායකත්වය 45% ක් පමණි. ඉතිරි 60%කට ආසන් බල ශක්ති අවශ්‍යතාව සැපයෙනුයේ දැවිතෙල් හා ගල්අඟුරු භාවිතයෙනි. එමගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා විදුලිබල මණ්ඩලයට වැය වන මුදල රු. 55 ක් හෝ 60 ක් පමණි. ඊට අමතරව එමගින් අප වායු ගෝලයට නිකුත් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය ද අතිවිශාලය.

2022 වර්ෂයේ දී මෙම තත්ත්වය ඉතා උග්‍රවීමට හේතු වූ අනිත් කරුණ නම් මීට මාස හයකට පෙර රුසියාව යුක්රේන සමග යුද්ධය අරම්භ කිරීමයි. මෙම යුද්ධය හේතු කොටගෙන රුසියාවෙන් ලොවට සැපයූ අතිවිශාල ඉන්ධන හා ගෑස් ප්‍රමාණයක් ලබා ගන්නා යුරෝපීය රටවලට එසේ ලබාගැනීමට සම්බාධක පැමිණ වීම හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ තෙල් හා ගල්අඟුරුවල මිල බලාපොරොත්තු නොවූ ලෙස ඉහළ ගිය බව අප කවුරුත් දන්නා කරුණකි.

මේ හේතුවෙන් අප ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයට ම විශාල ලෙස ඉන්ධන අර්බුදයට මුහුණ දීමට සිදුවිය. ඒ නිසා ලෝකයේ සියලු රටවල ප්‍රවාහන ගාස්තු ඉතා විශාල ලෙස ඉහළ යෑමත් කෘෂි ආර්ථික නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් මේ වනවිට බොහෝ රටවල විශේෂයෙන් තුන්වන ලෝකයේ දුගී රටවල විශාල ආහාර හිඟයක් ඇතිවී ඇත.

අද ලංකාවේද ආදායම් අඩු පවුල්වලට තුන්වේල සපයා ගැනීමත් අත්‍යවශ්‍ය බේත්හේත් ලබා ගැනීමත් ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වී ඇත්තේ එබැවිනි.

එහෙයින් ඉතිහාසයේ ප්‍රථම වරට රටේ උද්ගතව ඇති මෙම ඉතා අවාසනාවන්ත තත්ත්වය මඟ හරවා ගැනීම පණිස කළ යුතු පිළියම් සලකා බැලීමේ දී පෙනී යන ප්‍රධානතම අවශ්‍යතාවය වනුයේ වහා මෙරට බල ශක්ති අර්බුදය විසඳා ගැනීමයි. ඒ සඳහා හැකි පමණ පුනර්ජීවන බල ශක්ති යොදා ගෙන වසරකට තෙල් හා ගල්අඟුරු ආනයනය සඳහා දැනට වැය කරනු ලබන ඩොලර් මිලියන 1500 ක් පමණ මෙරට රඳවා තබා ගැනීමෙන් එම මුදල් අනෙකුත් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවනු ඇත.

එබැවින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම බෞද්ධ හා සමාජීය ආයතනයක් වූ අප සම්මේලනය මෙම අභාග්‍ය සම්පන්න කාලයේ දී ඉන් රට ගොඩගැනීමට රජයට සහාය දැක්වීම පිණිස පුනර්ජීවන බල ශක්ති භාවිතය රටේ මුළු අවශ්‍යතාවයෙන් 60%ක් දක්වා වැඩි කිරීමටත් දැනට උත්පාදනය කරනු ලබන මිල අධික ඉන්ධන භාවිතයෙන් නිපදවන සීමිත බල ශක්තිය ද ඉතා ප්‍රවේශමෙන් භාවිත කොට පිරිමැසීමට මෙරට ජනතාව යොමු කිරීමත්ය. ඒ අනුව ශ්‍රී ලංකා වාසී සියලු ජල ප්‍රභව හා සුළං ප්‍රභවවලට සමීප වූ ව්‍යවසායකයින් දිරිමත් කොට එම ප්‍රභව භාවිතයෙන් පුනර්ජීවන ශක්තිය වැඩි වැඩියෙන් නිපදවා ගැනීම පිණිස ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් හා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කිරීමත් අප අරමුණ වේ.

අප සම්මේලනයේ ජාතික සංවර්ධන මණ්ඩලයේ විද්වත් මණ්ඩලය මගින් පෙන්වා දී ඇති පරිදි තමව භාවිතයට නොගත් ජල ප්‍රභව 200 ක් පමණ දිවයිනේ නොයෙක් ප්‍රදේශවල ඇත. ඒවායේ කුඩා බලාගාර ඇති කිරීමෙන් පමණක් වසරකට මෙගා වොට් 1000 ක් පමණ අමතර විදුලි බලය උත්පාදනය කොට තෙල් හා ගල්අඟුරු භාවිත නො කරම රටේ බල ශක්ති අර්බුදය මුළුමනින් විසඳිය හැකිය.

එබැවින් පසුගියදා පැවැති අප සම්මේලනය නව නිපයුම් කොමිසමත් සුනිත්‍ය බල අධිකාරියත් සමග ඒකාබද්ධව සංවිධානය කරන ලද සුනිත්‍ය බල නව නිපයුම් ප්‍රදර්ශනය හා වැඩමුළුවේ මූලික පරමාර්ථය වූයේ නව නිර්මාණකරුවන් විසින් නිර්මාණය කොට ඇති පුනර්ජනීය බල ශක්තිය විදුලි බලය ජනනය කිරීම පිණිස භාවිත කිරීමට අතහිත දීමත් එමගින් නව ව්‍යවසායකින් බිහි කිරීමත් දැනට උත්පාදනය කරනු ලබන අධික මිලකින් යුත් දැවි තෙල් හා අඟුරු භාවිතයෙන් ජනනය කළ සීමිත බල ශක්ති ප්‍රමාණය පිරිමැසීමෙන් භාවිත කිරීමට ලක් වාසීන් යොමු කිරීමත්ය. මෙම විදුලිබලය අපතේ යෑම අවමකොට පිරිමසා ගැනීමේ ක්‍රම හඳුන්වා දීම තුළින් ම රටේ විදුලි අවශ්‍යතාවය සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ගතහැකිවන අතර ඉතිරි අවශ්‍යතා සඳහා අවශ්‍ය බලය ද හැකිපමණ නව පුනර්ජීවන බලශක්ති ප්‍රබවයන් ඇතිකිරීමෙන් විදුලිය ජනනය කිරීමෙන් ද රටේ දියුණුවට අවශ්‍ය විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණයක් මෙරට රඳවා තබා ගතහැක.

ඒ සඳහා රජයට සහය වීමට අප සම්මේලනය බලාපොරොත්තු වන අතර එසේ කිරීමෙන් අපට මින් ඉදිරියට අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය විදුලි බලය යළි උත්පාදනය පිණිස විදේශ නැව් මගින් තෙල් හා ගල්අඟුරු එනතුරු මුහුද දිහා බලාසිටීමට හෝ විදුලිය විසන්දි කිරීම හේතුවෙන් රාත්‍රී කාලයේ අඳුරේ සිටීමට අවශ්‍ය නොවන බව අප විශ්වාසයයි.

ආචාර්ය එල්. එම්. කේ. තිලකරන්න
ජාතික සංවර්ධන මණ්ඩලය
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

advertistmentadvertistment
advertistmentadvertistment