ඩොලර් අර්බුදය මැද ශ්‍රී ලංකාවට එරෙහි දැඩි ජිනීවා යෝජනාවක්  

760

50 වැනි ජිනීවා සමුළුව තවදුරටත් පැවැත්වෙයි. එහෙත් සිදුවූයේ කුමක්ද? ගෝඨාභය රජය එකවරම කොටි හිතවාදී කොටි ක්‍රියාකාරීන් 318ක සහ කොටි හිතවාදී සංවිධාන 4ක තහනම අහෝසි කළේය. ඒ බව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ද දැනුම් දුන්නේය. 2009 සිට ජිනීවා, ලන්ඩන් සහ ඩුබායි සහ ඉතාලි ඔස්ටේ්‍රලියානු දේශප්‍රේමීහු ජිනීවා වෙත පැමිණ කොටි හිතවාදීන්ගේ බොරු ප්‍රචාරවලට ප්‍රතිචාර දැක්වූහ. එහෙත් 50 වැනි ජිනිවා සමුළුව පැවැත්වෙන අවස්ථාවේ කොටින්ට එරෙහි සටන් අත්හැර දමනු ලැබීය.

මෙරට ඉතිහාසයේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය එයයි. අද කිසිදු දේශප්‍රේමියෙක් ජිනිවාහි දක්නට නැත.

ඊට වගකිව යුත්තේ ජනපති ගෝඨාභය රජය සහ ඔහු වටා සිටි බලකාමී පිරිසයි. ජනපති බලයට පත් වී මාස කීපයක් ගත වීමට පෙර දේශප්‍රේමීන් අමතක කෙරුණි. ඔවුන් කියන දේට සවන්දීම ද සිදු වූයේ නැත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්කි 120,000ක් ඇති බව පවසද්දී ඊට අභියෝග කිරීමට ජනපති සහ රජය ක්‍රියා කළේ නැත.

මේ නිසා දේශප්‍රේමීන්ගේ බලාපොරොත්තු සුන්විය. එහි උච්චතම අවස්ථාව අද එළැඹී ඇත. ජිනිවා ගොස් අපි කොට් හිතවාදීන් 318කගේ හා සංවිධාන 4ක තහනම ඉවත් කළ බවත් රැඳවුම් භාරයේ සිටි කොටි 22ක් මුදා හැරි බවත් රජය ලැජ්ජා නැතිව කීවේය.

පසුගිය වසර ගණනාව මුළුල්ලේ ගෝලීය ද්‍රවිඩ සංසදය, බි්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය, ඕස්ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය සහ කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය ශ්‍රී ලංකාවට එරෙහි අභුත චෝදනා එල්ල කළේය. මින් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් පැවසුවේ රජය සමාව ඉල්ලිය යුතු බවයි.

මේ පසුබිම මත අප මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර ක්‍රමවේදය අනුගමනය කරන්නෙමු යැයි රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පැවසුවේය. එසේ නම් රජය හමුදා නිලධාරීන් වෙනුවෙන් වගවීමේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නේද?

මෙයට කලකට පෙර අප පැවසුවේ රජයේ ක්‍රියා පාටිපාටිය හොඳ නැති නිසා සර්බියාවේ ඇතිවූ තත්ත්වය මෙරට ඇති වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සර්බියාවට ණය ලබා දුන්නේය. අනතුරුව සර්බියානු යුද නායකයන් යුද අපරාධකරුවන් ලෙස හේග්හි ජාත්‍යන්තර අධිකරණයට භාරදුන්නේය. එවැන්නක් මෙරට සිදු නොවනු ඇතැයි රජයට සහතිකය විය නොහැක. දැනටමත් රජය කොටි හිතවාදීන්ගේ තහනම අහෝසි කර තිබේ.

විදේශගත කොටි මෙරට ජනතාවට සිනා සෙති.

දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් රටේ ඩොලර් සංචිතය අඩු වනතුරුම බලා සිටියහ. එහි ප්‍රතිඵලය භයානක විය. රට අරාජික තත්ත්වයකට ඇද වැටුණි. එය ජිනිවාහිදී කොටින්ට එරෙහි සටන ගෙනගිය දේශප්‍රේමීන්ට ද බලපෑවේය. එම පසුබිම මැද රටට ඩොලර් එවීමට ක්‍රියාකරන ලෙස රජය විදේශගත ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙයට ප්‍රතිචාර දැක්වූ ජිනිවාහි දේශප්‍රේමියෙක් පැවසුවේ රජයට උපදෙස් දුන් දේශපාලකයන් ලවා ඩොලර් ගෙන්වා ගන්නා ලෙසයි. රජය දේශප්‍රේමීන්ව අමතක කළේ බරපතළ අයුරිනි. ජනපති හමුවීමට වරක් මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු කණ්ඩායමක් පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට අභියෝග කිරීමට ඉදිරිපත් වූයේ නැත. මේ සිද්ධිය දේශප්‍රේමීන්ගේ නොසතුටට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ දේශප්‍රේමීන් ශ්‍රී ලංකාව ගැන ක්‍රියා කිරීම අත්හැර දැමීමයි.

මෙයට එක් නිදසුනක් වූයේ දේශපාලකයන් පිරිසක් රුසියානු තානාපතිවරයා හමුවීමට ගොස් තෙල් සහ ගෑස් ඉල්ලීමයි.

එහිදී තානාපති පැවසුවේ තෙල් ඕනෑ නම් ශ්‍රී ලංකා ජනපතිවරයා රුසියානු ජනපති පුටින්ව අමතන ලෙසය.

රටේ ජනතාව පැය 12 සිට 24 දක්වා තෙල් සහ ගෑස් පෝලිම්වල සිටියදී ජනපති රාජපක්ෂ විසින් පුටින්ව අමතා තෙල් සහ ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට ක්‍රියාකළ යුතු වුවත් ඔහු ඊට මුල් වූයේ නැත.

මෙයට හේතු වූයේ ඇමරිකාවයි. ඇමරිකාව රටේ ජනතාව පෝලිම්වල දුක්විඳින බව දක්වමින් තෙල් ලබාදුන්නේ නැත.

එහෙත් ඉන්දීය ජනපති මෝදි විසින් පුටින් අමතා ඉහළපෙළේ දූත කණ්ඩායමක් රුසියාවට යවා තෙල් බැරල් බිලියන ගණනක් ලබා ගත්තේය.

මේ සියලු තොරතුරු විදේශගත දේශප්‍රේමීන්ට වාර්තා විය. මෙවන් තත්ත්වයක් මත අද සිදු වී ඇත්තේ කුමක්ද? ඒ විශාල පාවාදීමකි. රජය ලැජ්ජාවකින් තොරව කොටි හිතවාදී සංවිධාන තහනම අහෝසි කර ඇත. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර පිළිවෙත අනුව කටයුතු කරන බව පැවසීය. මෙවැනි ප්‍රකාශයක් දේශප්‍රේමීන් කිසිදිනෙක බලාපොරොත්තු වූයේ නැත. මෙවන් පසුබිමක් මැද ඉදිරියේදී ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් බවට පත්වේ. එසේම මානව හිමිකම් කවුන්සිලය හමුවේ හිස නැමූ රජය ඉදිරියේදී කොටි ඩයස්පෝරාව හමුවේ හිස නැමීමට ඉඩ තිබේ.

වරක් අබුඩාබිහි සංචාරයක යෙදුණු ජනපති රාජපක්ෂ වෙතින් ශ්‍රී ලාංකික දේශප්‍රේමියකු වූ යසස් ධර්මදාස රජයේ ස්ථාවරය විමසූ විට ජනපති රාජපක්ෂ පැවසුවේ ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන බවයි.

දේශප්‍රේමීන් ඇතුළු රටේ 69 ලක්ෂයක් රාජපක්ෂට ඡන්දය දුන්නේ කොටි ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමටද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment