ඩොලර් අර්බුදය හමුවේ  ජාතික පාපන්දු පුහුණුකරු  ජාතික කාර්යය නිම කරයි

265

ඇමෙරිකා එක්සත් ජනපද මුදල් ඒකකයෙන් මාසික වැටුප් ගෙවීමේ ඇති අසීරුතාව තේරුම් ගනිමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ධුරයෙන් සමු ගැනීමට බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සමගින් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළැඹි බැව් අමීර් ඇලජික් මහතා අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ගත කළ කාලය පිළිබඳව සෑහීමකට පත්ව සිටින අමීර් ඇලජික් මහතා මේ රටින් පිටත පිටව ගියද ශ්‍රී ලංකාව සමග ඇති ආදරණීය සම්බන්ධතාව දිගුකල් පවතිනු ඇතැයි හෙතෙම අනාවරණය කර තිබේ.

2020 පෙබරවාරි මස සිට මේ දක්වා ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අමීර් ඇලජික් මහතා එම ධුරයට අමතරව මෙරට තාක්ෂණිකව පාපන්දු අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.

මෙම කාල සීමාව තුළ අන්තර් ජාතික තරග මාලාවන් ත්‍රිත්වයකට පුහුණුකරු ලෙස එක් වීමට අමිර් ඇලජික් මහතාට හැකියාව ලැබිණි.

2021 වසරේ කොළඹ දී ක්‍රියාත්මක කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව් කොන් ජාත්‍යන්තර තරග මාලාවේ අනු ශූරතාව දිනා ගැනීම දක්වා ශ්‍රී ලංකා පිල මෙහෙයවීම ඔහුගේ ඉහළම දක්ෂතාව ලෙස සඳහන් කළ හැකිය. සීෂේල්ස්, මාලදිවයින, බංග්ලාදේශය යන රටවලට එරෙහිව එහි දී ශ්‍රී ලංකා පිල තරග වැදුණි. තීරණාත්මක අවසාන මහා තරගයේ දී ප්‍රතිවාදී සීෂෙල්ස් පිල හමුවේ දඬුවම් පහර ආශ්‍රිතව තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එහිදී රිදී පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු විය. මාලදිවයිනේ දී පැවති දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ දී ලත් පරාජයේ වාඩුව ලබා ගනිමින් ප්‍රතිවාදී බංග්ලාදේශය මෙවර තරගාවලිය යටතේ පරාජය කිරීමට සමත් වීම ද එහිදී කැපී පෙනුණි. අමිර් ඇලජික් මහතාගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා ජාතික පිල ලත් එකම ජයග්‍රහණය ද මෙය විය. වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා පිල අන්තර් ජාතික තරගාවලියකදී ලත් එකම ජයග්‍රහණය ද එය වීම විශේෂත්වයක් ගත්තේය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයේ තරග සඳහා දකුණු කොරියාව බලා ගිය ශ්‍රී ලංකා පිලට පුහුණුව ලබා දුන් අමිර් ඇලජික් මහතා එහිදී දකුණු කොරියාවට හා ලෙබනනයට එරෙහිව පරාජය වුවද මෙරට ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ දක්ෂතා ඉහළ තලයකට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

අනතුරුව මාලදිවයිනේදී පැවති දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියට පුහුණුව ලබා දුන් ඒ මහතා ඉන්දියාව සමග තරගය ගෝල් 00 – 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වීම ද කැපී පෙනුණි. මාලදිවයින නේපාලය සහ බංග්ලාදේශය හමුවේ එහි දී ශ්‍රී ලංකා පිල පරාජයට පත්විණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment