ඩොලර් අල්ලන්න පොලිසිය කැඳවයි – රු.එක්කෝටි  අසූදෙලක්ෂයක  ඩොලර් අල්ලයි

3582

ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල් බැංකුවල තැන්පත් නොකර ළඟ තබා ගන්නා පුද්ගලයන් හෝ ආයතන ගැන ලැබෙන තොරතුරු අනුව මහ බැංකු නිලධාරීන් සහ පොලිසිය එක්ව එම විදේශ මුදල් සොයා වැටලීම් කිරීමට තීරණය කර ඇත.

එසේ වැටලීම් කිරීමේදී විදේශ මුදල් සොයාගතහොත් ඒ සඳහා දණ්ඩනවලට සහ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට එම පුද්ගලයන්ට හෝ ආයතනවලට සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

කෙසේ වෙතත් ඔවුන් සතු විදේශ මුදල් බැංකුවල තැන්පත් කිරීමට හෝ රුපියල්වලට මාරු කර ගැනීමට සති දෙකක කාලයක් ලබා දෙන බව ද එම කාලය තුළ එම විදේශ මුදල් බැංකුගත කරන ලෙස ද මහ බැංකු අධිපතිවරයා ඉල්ලා සිටී.

දැනට ඇති නීතිය අනුව ඇමෙරිකානු ඩොලර් 15000 කට වැඩි මුදලක් ළඟ තබා ගැනීම නීති විරෝධී වන අතර එම උපරිම සීමාව තුළ තිබෙන විදේශ මුදල් පවා ලැබුණු ආකාරය තහවුරු කළ යුතු වනු ඇත.

මේ විදේශ මුදල් ළඟ තබා ගත හැකි උපරිම සීමාව ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලාගෙන යන බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියයි.

මේ අතර රුපියල් එක්කෝටි අසූදෙලක්ෂයක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් 50,000ක් නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වැලිකඩ පොලිස් වසමේ වැලිකඩ ප්ලාසාහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා (21වැනිදා) සිදුකළ වැටලීමකදී මෙම ඇමරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාට මෙම ඇමරිකානු ඩොලර් තොගය ලැබුණු හැටි තහවුරු කිරීමට නොහැකි වූ බවත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම ඩොලර් හා පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අලුත්මාවත, කොළඹ 15 ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා සහ ඩොලර් තොගය සමග මෝටර් රථයක්, ජංගම දුරකථන 3ක් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිසියට බාරදී තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතගේ උපදෙස් හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, ප්‍රභාත් විතාන,  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment