ඩොලර් අවුලෙන් වරායේ හිරවුණු – ගෑස් නැව් දෙකට කෝටි 9 ක ප‍්‍රමාද ගාස්තු

395

මීට දින පහළොවකට පෙර මෙටි‍්‍රක් ටොන් 3500 බැගින් වූ ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණි අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසා ඒවා තවමත් වරායේ ඇතැයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඩොලර් අවුලෙන් වරායේ හිරවුණු - ගෑස් නැව් දෙකට කෝටි 9 ක ප‍්‍රමාද ගාස්තු

මේ නිසා රට තුළ බරපතළ ගෑස් හිඟයක් ඇතිවී තිබෙන අතර එම නෞකා දෙක නිදහස් කර ගැනීමට මහා භාණ්ඩාගාරය මැදිහත්වී බැංකුවලින් ඩොලර් ඉල්ලා ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කළේය.

ලාෆ් ගෑස් සමාගමට ගෑස් ආනයනය කිරීමට කිසිදු සහායක් නොලැබෙන බවත් දැනට වෙළෙඳ පොළේ තිබෙන ගෑස් සුළු ප‍්‍රමාණය අවසන් වූ පසු ලාෆ් ගෑස් වෙළෙඳ පොළේ නැති බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ඞීසල් නෞකා දෙකක් නිදහස් කරගෙන ඒවා රටපුරා බෙදාහරිමින් තිබෙන බවත් ප‍්‍රවාහන කටයුතු යම් තරමකට පවත්වාගෙන යන අතරේ ගෑස් ප‍්‍රශ්නය මතුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද කියයි.

මේ අර්බුදයට ප‍්‍රධානම හේතුව රට තුළ පවතින ඩොලර් හිඟය යැයි ද ඊට විසඳුමක් ලැබෙන තුරු ඉන්ධන, ගෑස් ඇතුළු අනෙක් ද්‍රව්‍යවල හිඟය පවතිනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් කියා සිටියේය.

ඉක්මනින්ම ගෑස් දෙනවා- ලිට්‍රෝ සමාගම කියයි

පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගෑස් මිලදී ගැනීමේ අපහසුතාවක් මේ වන විට ඇතිවී තිබෙන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි.

එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ඒ හා අදාළ අනෙකුත් ආයතන සමග ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඉතා කඩිනමින් ප‍්‍රමාණවත් පරිදි එල්පී ගෑස් ලබා දීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම කියා සිටී.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment