ඩොලර් ඉතිරි කරන්න සපුගස්කන්ද දින 50කට වැහුවා – ඇමැති ගම්මන්පිල

450

බොරතෙල් ගෙන්වනවාට වඩා පෙට‍්‍රල්, ඩීසල් ගේන එක ලාභයි

පෙට‍්‍රල්, ඞීසල්, ඖෂධ, ආහාර සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ආරක්‍ෂා කර ගැනීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 ක් පමණ වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (15දා) බලශක්ති අමාත්‍යාංශයේදී පැවසීය. සැප්තැම්බර් 29 වැනිදා අනතුරු ඇ`ගවූ පරිදි ඊයේ සිට තෙල් පිරිපහදුව වසා දමන බව ප‍්‍රකාශ කළ ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

ඩොලර් ඉතිරි කරන්න සපුගස්කන්ද දින 50කට වැහුවා - ඇමැති ගම්මන්පිල

රට සතු සීමිත විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ. අපේ තෙල් පිරිපහදුව වසර 51 ක් පරණයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 37% ක් පමණ නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. තවත් 19% ගුවන් යානා තෙල්. පෙට‍්‍රල් සහ ඞීසල් නිෂ්පාදනය වන්නේ 43% යි.

මේ දිනවල අධික වැස්ස හේතුවෙන් සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 50% කට වඩා ජලයෙන් සිදු කරන්නේ. ඒ නිසා දැවි තෙල් අවශ්‍ය නෑ කියා විදුලිබල අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඒ වගේම ගුවන් යානා තෙල් මෙරට නැති නම් බොහෝ අවස්ථාවලදී ගමන අරඹන ගුවන් තොටුපොළෙන් ලබාගන්න පුළුවන්. දිගු ගමන් සඳහා පමණයි ලංකාවෙන් තෙල් මිලදී ගැනීමට අත්‍යාවශ්‍ය වෙන්නේ. මේ දිනවල අධික ඉල්ලූමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් 56% ක් නිෂ්පාදනය වන බොර තෙල් සඳහා සීමිත විදේශ විනිමය වැය කිරීම පාඩුයි. ඒ විදේශ විනිමය පෙට‍්‍රල් සහ ඞීසල් වගේම ඖෂධ, ආහාර සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැය කරන්න පුළුවන්.

පිරිපහදුවෙන් සපයන්නේ සමස්ත පෙට‍්‍රල් අවශ්‍යතාවයෙන් 14% යි. ඞීසල් අවශ්‍යතාවයෙන් 29% යි. බොර තෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප‍්‍රමාණයන් ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වැදගත් වෙනවා.

මේ දිනවල ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ඡුා කරනවා. දිගින් දිගටම පාඩු ලබන නිසා තෙල් සංස්ථාවට ණයක් ගැනීම දුෂ්කරයි. ඒ වගේම ණයට ඇප වෙන ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතාම පහළ මට්ටමක තිබෙන නිසා ණය ගැනීම තවත් දුෂ්කර වී තිබෙනවා. විදේශ විනිමය හිඟය යම් මට්ටමකට සමනය කරගත් වහාම බොර තෙල් ආනයනය අපි යළි පටන් ගන්නවා. උපරිම වශයෙන් දින 50 ක් පමණ පිරිපහදුව වසා දමන්න සිදුවේවි.

සමහරු මාධ්‍ය හමු පවත්වා රටට බලපාන ප‍්‍රවෘත්තියක් බවට පත් කරන්න උත්සාහ කළත් බොර තෙල් හි`ගයක් ඇති වී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි බවටත් එයින් රටේ ඉන්ධන හි`ගයක් ඇති නොවන බවටත් සැප්තැම්බර් 29 තරම් ඈත දිනක මාධ්‍ය හමුවක් පවත්වා අපි රටට කිව්වා. ඒ අනුව බොර තෙල් මිලදී ගැනීම නැවැත්වීමෙන් පිරිපහදුව වසන බවට අපි රටට කිව්වේ නැත්තේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් නිසා.

පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ‍්‍රාමික සේවකයෙක් තෙල් හිඟයක් ඇති වන බවටත් පැය 12 ක් විදුලිය කපා හැරීමට සිදුවන බවටත් මාධ්‍ය හමුවක පවසා තිබුණා. මේ පුද්ගලයාම තමයි වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිත් විවිධ බොරු කියන්නේ. පසුගිය ජුලි මාසයේ සිට තුන් වතාවක් රටේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු ප‍්‍රකාශ කළා. ඉන්දියානු විදේශ ලේකම් ති‍්‍රකුණාමලයේ යන්නේ තෙල් ටැංකි ඉන්දියාවට පවරන ගිවිසුමක් අත්සන් කරන්න කිව්වා. ඛනිජ තෙල් ගවේෂණයට මම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඒකෙන් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවා කිව්වා.

දැන් කියනවා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිමුණා කියලා. වසර දෙකකට හෝ තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා තෙල් දැල්ල නිමනවා. ඒ වගේම මෑත ඉතිහාසයේ දෙවරක් බොර තෙල් හිඟ වෙලාවට ගෙන ඒමට නොහැකි වීම නිසා පිරිපහදුව වසාදමා තිබෙනවා. මෙවැනි බොරුකාරයන්ට මාධ්‍ය තුළ ඉඩක් වෙන්වීම නිසා ජනතාව රැුවටී පෝලිම්වල රස්තියාදු වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසීය.

එරික් ගාමිණී ජිනපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment