ඩොලර් උපයන්නිය දුකෙනි; ඩොලර් කෑ අය සැපෙනි

801

ඔමානයේ මස්කට් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ ඊ. කුෂාන් පසුගිය දිනක අලුයම ලංකාවට පැමිණි මොහොතේදීම අත්අඩංගුවට ගන්නා ලදි. ඇත්තටම කුෂාන් සම්බන්ධයෙන් සිදුවුණේ පැමිණීමක් නොව බලහත්කාරයෙන් ගෙන්වා ගැනීමකි. මස්කට් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කරමින් සිටි කුෂාන්ට විරුද්ධව චෝදනා රැසක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ Human Trafficking හෙවත් මිනිසුන් ජාවාරම් කිරීමේ කටයුත්තකට සම්බන්ධ වීමය. ලංකාවෙන් සංචාරක වීසා ලබාගෙන ඔමානයේ ගෘහ සේවිකා රැකියාවලට යන කාන්තාවෝ සිටිති. කොළඹ දැකලාවත් නැති දුර පළාත්වල ජීවත්වන මේ අසරණ ගැහැනු කොළඹ එන්නේ දෙවතාවක් පමණි. ඉන් පළමුවන අවස්ථාවේදී එම කාන්තාව පාස්පෝට් එක ගැනීම සඳහා කොළඹට පැමිණෙයි. දෙවනුව ඇය කොළඹ එන්නේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටවී මැද පෙරදිග යනු පිණිසය. ඇය මෙම ගමනට සෙට් වන්නේ සිය ගම් පළාතේ සිටින රැකියා ඒජන්සිකාරයකුගේ මාර්ගයෙනි. Job Visa ලෙස හැඳින්වෙන රැකියා බලපත්‍ර වීසාවක් ඇහැටවත් දැක නැති මේ අසරණ ගැහැනු තුන් මාසයේ සංචාරක වීසාවලට රැවටී ඒවා ද ජොබ් වීසා ලෙස වැරදියට වටහාගෙන ඒජන්සිකරුගේ අතට රුපියල් ලක්ෂ දෙකක් විතර ද ටිකට් එකේ ගාස්තුව වශයෙන් තවත් රුපියල් ලක්ෂයක් පමණ ද දී ඔමානයට හෝ සෞදි අරාබියට හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගුවනින් යති. ඉහත සඳහන් ලක්ෂ තුනම ඒජන්සිකාරයාගේ සාක්කුවට ගෙඩිය පිටින්ම වැටෙයි. මන්ද යත් ටිකට් ගාස්තුව එවන්නේ අරාබියේ සිටින ප්‍රධාන ඒජන්තයා හෙවත් Principle Agent ය. කෙසේ හෝ වේවා මැද පෙරදිගට යන මේ ගැහැනු සංචාරක වීසා නිමවීමෙන් පසු ගෙවල්වලින් පලවාහරිනු ලැබේ. එහෙමත් නැත්නම් ගෙදර මහත්තයා වන අරාබිකාරයා ඇය ඇඳට ගැනීමට සූදානම් වෙයි. සමහරවිට ඔහුගේ පුතා ලෑස්ති වෙන්නේද එම රාජකාරියට ය.
මේ බව අසු වූ විට ඒ ගෙදර ස්වාමි දුව ගෘහ සේවිකාවට පහර දී ඇගේ ඇඟට උතුරන වතුර වත්කරයි. එය හදිසි අනතුරක් ලෙස තීන්දු වන අතර තුවාල සමගම ඇය ගෙදරින් දොට්ට දමනු ලැබේ. තුවාල ලබා හෝ නොලබා මහ පාරට වැටෙන ශ්‍රී ලාංකික කාන්තාව රඳවා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තානාපති කාර්යාලය ආශ්‍රිතව Safe House හෙවත් ආරක්ෂක නිවස්න පිහිටුවා ඇත. ඒ තැන්වල ඇහැට-කනට පෙනෙන සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ගැහැනුන් සිටින විට තානාපති කාර්යාලයේ නිලධාරීන්ට මෝල් කලන්තය වැළඳේ. එතැන් සිට පුළුවන් තරම් කල් එම ගැහැනුන් ආරක්ෂිත නිවස්නයේ රඳවාගෙන ශ්‍රී ලංකාවට නොයවා දූෂණය කිරීමට පටන්ගනු ලැබේ. ඔමාන් තානාපති කාර්යාලයේ සිටි ඊ. කුෂාන් සහෝදරයාට මෙවැනි කේස් ඇති තරම් තිබේ. එතුමා විසින් දූෂණය කරන ලද්දේ යැයි කියන ගැහැනු පසුගියදා රූපවාහිනියට පවා වොයිස් කට් දුන්හ. විදේශ සේවයට යන ශ්‍රී ලාංකික නිලධාරීන්ට සිය බිරින්දෑ කැටුව යෑම අනිවාර්ය කළ යුතු බව අපගේ වැටහීම වේ. තනිකඩයන් හෝ බිරිඳ පිටරට ගෙනයෑම ප්‍රතික්ෂේප කරන අය විදේශ සේවයට නොයැවිය යුතුය. අන්තිමට සිදුවන්නේ මේ අසරණ ගැහැනු ශ්‍රී ලංකාවට පැමිණීමට ටිකට් එකක් ලබා ගැනීමට නොහැකිව බත් පත සඳහා දූෂණය වෙමින් මැද පෙරදිග රටවල දුක් විඳීම ය. එහෙත් මේ රටේ ආර්ථිකය දූෂණය කළ දේශපාලනඥයන්ට ලංකාවට පැමිණීමට ඕනෑ තරම් ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට වගකිවයුත්තේ යැයි කියන දේශපාලනඥයන් කිහිපදෙනාගෙන් කෙනකු වූ බැසිල් රාජපක්ෂ පසුගියදා කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් ශ්‍රී ලංකාවට සැපත් විය. ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ද ගුවන් තොටුපළට ගොස් සිටියේය. පොලිස් කොමිසම යනු ස්වාධීන ආයතනයකි. එය වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණය. දේශපාලනඥයන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළට යෑමෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු විසින් පෙන්නුම් කරන ලද්දේ කිසියම් පක්ෂපාති භාවයකි. මෙය නරක නොව නරකම නරක ආදර්ශයකි.

ශ්‍රී ලංකාවට ඩොලර් එවීම සඳහා දුක්විඳින සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ගැහැනුන් දූෂණය කිරීමට සම්බන්ධ විදේශ සේවා නිලධාරීන්ට හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුය. (ඔමානයේ පිහිටි ශ්‍රී ලංකා ආරක්ෂක නිවස්නයේ පාලිකාව පල් හෙරක බවට කියවෙන සාක්ෂි තිබේ.) මැද පෙරදිග සිටින ගෘහ සේවිකාවන් මෙරටට එවන ඩොලර් ගිල දැමූ දේශපාලනඥයන්ට විරුද්ධව කිසිවෙක් කිසිදු පියවරක් නොගන්නේ මන්ද යන ප්‍රශ්නය අපට නොතේරේ. මේ රටේ ආර්ථිකය ගිල දැමූ පිරිස යළි ක්‍රියාකාරී වී සිටිති. පසුගිය කාලයේ පැවැති අරගලයේදී ඇඳන් යට සැඟවුණු දේශපාලකයෝ මේ දිනවල නැවතත් ක්‍රියාත්මක වී සිටිති. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද රැස්වීමකට පසුගිය ඉරිදා පහරදෙන ලදි. එම රැස්වීමට සහභාගි වූ ඇතැම් කථිකයන්ගේ අදහසට අනුව වල් ඌරා ලෙස හැඳින්වෙන දේශපාලනඥයෙක් මේ ප්‍රහාරයට වගකිව යුතු බවය. එහෙත් වල් ඌරකු තබා ඌරු මීයකු හෝ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව නැත.

ඔමානයේ ශ්‍රී ලංකා තානාපති නිලධරයන්ගේ ස්ත්‍රී දූෂණ ගැන සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරන ලද්දේ මේ රටේ ජනමාධ්‍ය විසිනි. රූපවාහිනී චැනල සහ පුවත්පත් මේ සිද්ධිය ඇදගෙන නොයන්නට ඊ. කුෂාන් ඇඳෙන් බහින්නේම නැත. අප මෙයින් හඟවන්නේ කිසියම් නරක දෙයක් නොව ඊ. කුෂාන් දිගටම නිදාසිටිනු ඇති බවය. ඒ නිසා මේ රටේ ජනතාව මේ රටේ ජනමාධ්‍යවලට ස්තුතිවන්ත විය යුතුය. ඊ. කුෂාන් වැනි අයත් මේ රටේ ආර්ථිකය කෑ අයත් දිගින් දිගටම නිදැල්ලේ හැසිරෙති. ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට යෑම රට දැයේ උන්නතිය පතන ජනතාවගේ අරමුණ විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment