ඩොලර් එන ඇඟලුම් ගැටලු ලිහන්න උපදෙස්

134

රටට විශාල ආදායමක් ගෙනදෙන ඇඟලුම් ක්‍ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග හඳුනා ගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඇඟලුම් ක්‍ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්‍ෂිතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදෙන ලදි.

ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතුරින් ඇඟලුම් ක්‍ෂේත්‍රය තුළ මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්ගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ලේකම්වරයා විසින් මෙහිදී පැහැදිලි කරනු ලැබ ඇත.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව ආශ්‍රිත ගැටලු ක්‍ෂේත්‍රයේ කටයුතුවලට බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දන්වා ඇති ජනාධිපති ලේකම්වරයා නිරන්තරයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට සූදානම් බවද පවසා තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ. එම්. ටී. ජයසුන්දර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් අර්. පී. ඒ. විමලවීර, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ භාණ්ඩාගාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේශ් ද මෙල්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් රේණුක වීරකෝන් ඇතුළු නිලධාරීහු රැසක් මීට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment