ඩොලර් කළු වෙළෙඳාමට මහ බැංකුවෙන් දඩයමක්

972

මුදල් හුවමාරු කරන ආයතන හතරකට අවසන් අවවාද

කොළඹ කොටුවේත් නගරවලත් වැඩේ ජයටම

ශ‍්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇති තොරතුරු මත මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් පිටකොටුවේ සහ වෙනත් ස්ථානවල පිහිටි විදේශ මුදල් හුවමාරු කරන ආයතනවල විදේශ මුදල් හුවමාරු කටයුතු සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මේ අනුව අදාළ මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් එම ආයතන වෙත ගොස් සිදුකරන ස්ථානීය පරීක්‍ෂණ මාලාවක් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කර ඇත.

විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක‍්‍රියාකාරකම්වල මේ මුදල් හුවමාරු කරන ආයතන නිරත වන බවට මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති අතර, ඒ අනුව එම ආයතනවල ව්‍යාපාර ස්ථාන වෙත ගොස් ඒ ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

විශේෂයෙන් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට විදේශ මුදල් එවන කටයුතුවලට මේ බලයලත් විදේශ මුදල් හුවමාරු කරන ආයතන ද සම්බන්ධ වී ඇති බවට මහ බැංකුවට තොරතුරු ලැබී ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි.

පසුගිය මාසයක කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම්වලින් මෙරටට ලැබීම අඩු වී ඇති අතර ඒ සඳහා රු. කෝටි 7200ක පමණ අති විශාල මුදලක් මෙරටදී හුවමාරු වන බව පසුගිය සෙනසුරාදා (04 දා) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ප‍්‍රකාශ කළේය. මේ මුදල්වලින් වැඩි ප‍්‍රමාණයක් ඇතැම් විට විවිධ ජාවාරම්වලට සම්බන්ධ මුදල් බවට සැකකරන බව ද මහ බැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මේ අතර මහ බැංකුව ඉකුත් නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ සිදුකරන ලද පරීක්‍ෂණවලට අනුව දැනට මුදල් හුවමාරු කරන ආයතන හතරක් (වෙන්නප්පුවේ ආයතන දෙකක් සහ කොළඹ 06 පිහිටි ආයතන දෙකක්) විදේශ විනිමය පනතේ විධානයන් කඩකර ඇති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාල සීමාවකදී අදාළ විධානයන්ට අනුගතව කටයුතු කරන ලෙස මහ බැංකුව විසින් ඔවුන්ට නිවේදන නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව අදාළ විධානයන්ට අනුගතව එම විනිමය හුවමාරු ආයතන කටයුතු නොකළොත් ඔවුන්ගේ බලපත‍්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද මහ බැංකුව පවසයි.

බැංකු විසින් මුදල් හුවමාරුකරුවන් වෙත ලබා දෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු කිරීමට මුදල් හුවමාරුකරුවන්ට බලයක් නැති බව ද මහ බැංකුව පවසයි.

මේ අතර අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වූ බව කියන බැංකු ගිණුම් 20කට අධික ප‍්‍රමාණයක් මේ වන විට මහ බැංකුව විසින් අත්හිටුවීමට ද පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

ඩොලර් කළුකඩ වෙළෙඳාම මඩින මහ බැංකුවේ මෙහෙයුමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද එක්ව සිටින බව ද මහ බැංකු ආරංචි මාර්ගවලින් තවදුරටත් දැන ගන්නට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment