ඩොලර් ගේන්න ඩුබයි ගිය කාන්තාවෝ 60ක් හිරේ ගියේ ඇයි?

874

වර්තමානයේ රටේ හරි හමන් ආර්ථිකයක් නොමැති නිසා තම දරුවන් ඇතුළු පවුල නඩත්තු කිරීම එකම අරමුණ කර ගනිමින්, ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ගේ ප්‍රමාණය මේ වන විට වැඩිවෙමින් පවතී. රජය මගින් ද විදෙස්ගත වන කාන්තාවන් සඳහා පනවා තිබූ යම් යම් නීතීන් ලිහිල් කරමින් ඔවුනට සහන සලසමින් සිටී. මේ අතරවාරයේ හතු පිපෙන්නාක් මෙන් විදේශ රැකියා ආයතනද දිනෙන් දින මෙරට තුළ අලුතින් ආරම්භ වෙමින් පවතී.

පසුගිය කාල සීමාව දෙස බලන විට එම විදෙස් රැකියා ආයතන රජයේ ලියාපදිංචිය යටතේ ආරම්භ කෙරුණද, ඉන් පසුව එම ආයතන සම්බන්ධයෙන් රජය මගින් හරි හැටි නියාමනයක් සිදු වනවාද යන්න පිළිබඳවත්, විදෙස්ගත කළ කාන්තාවන් පිළිබඳව එම විදේශ රැකියා ආයතන සොයා බලනවාද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි.

නොමිලේ විදෙස්ගත කර රැකියා වලට යොමු කර වීම, ඉහළ වැටුපක් ලබා දීම, කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ සැපයීම යනුවෙන් සඳහන් කරමින්, විවිධ ප්‍රචාරක මාධ්‍යයන් භාවිත කරමින් ගම් නියම්ගම් වල සිටින දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන් සොයාගෙන මෙම ආයතනය විශාල මුදලක් උපයා ගත්තද? විදෙස්ගත වන බහුතරයක් කාන්තාවන්ට අපා දුක් විඳීමට සිදුවන අවස්ථා පසුගිය කාලය පුරාවටම නිරන්තරයෙන් අනාවරණය විය.

ව්‍යාජ ලේඛන සකසා එවකට බාලවයස්කාර දැරියක්ව වූ මුතූර් හි පදිංචිව සිටි රිසානා නෆීක් දැරියට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවී වූයේ ඇතැම් වංචාකාරී විදෙස් රැකියාවෙනි.

මෙරට විදේශ රැකියා ආයතන කීපයක් මගින් ඩුබායි (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) රාජ්‍යයේ ගෘහ සේවය සඳහා විදේශගත කළ 60 කට ආසන්න තරුණ සහ වයෝවෘද්ධ කාන්තාවන් පිරිසක් නිවාස අඩස්සියේ තබා, විදේශ රැකියා ආයතනවලට සම්බන්ධකම් තිබෙන මෙරට කාන්තාවන් තිදෙනකු විසින් සිදු කරනු ලබන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයෙන් අනාවරණය විය.

වසර දෙකක කාලයකට ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා රැකියා ලබා දෙන බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන කිහිපයක් මගින් මෙම කාන්තාවන් ඩුබායි රාජ්‍යයට යවා ඇති බවත්, එහි සිටින මෙරට කාන්තාවන් තිදෙනකු ප්‍රධානත්වය දරන ආයතනයක් වෙත එම කාන්තාවන් යොමු කරමින් මෙම ජාවාරම පවත්වා ගෙන යන බව ඊට මුහුණ දුන් කාන්තාවන් ගේ හඬ පට වලින් සහ මෙරටට පැමිණි කාන්තාවකගෙන් අනාවරණය විය.

ඩුබායි රාජ්‍යයේ වෙසෙන මෙරට කාන්තාවන් තිදෙනකුගේ පාලනය යටතේ ගෘහ සේවය සඳහා විදේශගත වූ කාන්තාවන් 50 ත් 60 ත් අතර පිරිසක් මෙලෙස නිවසක සිර කර තබා ගෙන සිටින බවත්, එම කාන්තාවන් වරින් වර දින පහක හයක කාලයකට නිවෙස් වල ගෘහ සේවය සඳහා යවා වැඩ කරන දින ගණනට ලැබෙන පඩිය, එරට ජාවාරමේ යෙදී සිටින මෙම කාන්තාවන් තිදෙනා විසින් ලබා ගන්නා බව පීඩාවට පත්ව සිටින කාන්තාවක් රහසිගතව ලබා දුන් දුරකථන ඇමතුමක පටිගත වී තිබේ.

තමා වැඩ කළ දින වලට අදාළ වැටුප් නොලැබුණු බවත්, අජ්මාන් නගරයේ නිවසක මෙරට කාන්තාවන් සිරගත කර ගෙන සිටින බවත් සඳහන් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණි.

එම පැමිණිල්ල සිදු කළ කාන්තාවට පසුගිය 19 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලද දුරකථන ඇමතුමකින් අසා ඇත්තේ එරට තුළ මෙරට ගෘහ සේවිකාවන් සිරකර රඳවාගෙන සිටින්නේ රසිකා සහ නදීශා යන කාන්තාවන් දෙදෙනාද යන්නයි.

එසේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ගෘහ සේවිකාවන් නිවාස අඩස්සියේ තබා ගෙන සිටීම සම්බන්ධයෙන් මීට පෙර දැන සිටියාද යන්න සම්බන්ධයෙන් විමතිය දනවන කරුණ වන්නේ, ඒ ඇමතුමෙන් කී නම් දෙකට අදාළ කාන්තාවන් දෙදෙනා මෙරට ගෘහ සේවිකාවන් නිවාස අඩස්සියේ තබා ගෙන සිටින නිසාවෙනි.

කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයකින් විදේශගත වී ඉහත කී කාන්තාවන් දෙදෙනා ඇතුළු කාන්තාවන් තිදෙනකු ගේ ග්‍රහණයට නතු වී සිටින එක් ගෘහ සේවිකාවක් හඬා වැළපෙමින් තමන් බේරා ගන්නා ලෙසට තම සැමියාගෙන් අයද සිටින හඬ පටයක මෙලෙස සටහන් වී තිබිණි.

“ලංකාවෙන් මෙහාට ආවට පස්සෙ ඒජන්සියට හිතවත් කාන්තාවන් ඉන්න නිවසක රඳවා ගෙන සිටියා, ඒ නිවසේ හරියට කන්න බොන්න දෙන්නේ නැහැ. එතන 60කට ආසන්න පිරිසක් ඉන්නවා. එතනට ගිහිල්ලා දැම්ම ගමන් අපේ ළඟ තිබ්බ පෝන් ටික ගත්තා. අපේ සියලු ලියකියවිලි ගත්තා. ඒ ගෙදර කැමරා හයි කරල තියෙන්නෙ, හොරෙන් කෝල් එකක් ගන්න බැහැ. හදිසියේම හරි අපි ගෙදරට කතා කරන කොට එයාලා ළඟින් ඉන්නවා අහගෙන, ඒකයි හරි විස්තරයක් කියන්න බැරි, ලොකු වේදනාවකින් ඉන්නේ, මාව හිර කර ගෙන හිටපු ඒ ස්ථානයෙන් මාව ගෙදරකට වැඩට දැම්මා. මම හරිම දුකක් වින්දා. මේ ගෙදර කෑම බීම බෙහෙත් කිසිම දෙයක් දෙන්නේ නැහැ, මම කෑම කන්නේ හොරෙන් වැසිකිළියට අරන් ගිහිල්ලා. එහෙම කරේ නැත්තං මෙලහකටත් මම කන්න නැතුව මැරිලා. මගේ දැන් ඇඟ දුර්වල වෙලා තියෙන්නේ කිසිම ශක්තියක් නැහැ. මේ ගෙදර අයිති ගෑනු කෙනාට වැඩම තමයි ඕනේ, අනේ මහත්තයෝ බුදු බව අත්වෙයි මාව කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න.”

ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින ගෘහ සේවිකාවකගේ සැමියෙකු වන අනුරාධපුර පරසන්ගස්වැව පදිංචි එස්. ඒ. මංගල සේන මහතා අදහස් පළ කරමින්.

ඩොලර් ගේන්න ඩුබයි ගිය කාන්තාවෝ 60ක් හිරේ ගියේ ඇයි?

“මගේ නෝනා කුරුණෑගල ඒජන්සියකින් තමයි රට ගියේ. රට ගිහින් මාස තුනක කාලයක් ඒජන්සියේ හිර කර ගෙන ඉඳල තියෙන්නෙ. වරින් වර දැන් නිවෙස් වල වැඩට දානවලු. ඒ ගෙදර කන්න දෙන්නේ නැහැ කියනවා. හොරෙන් කතා කරන්නේත් ඒ කතා කරන කොට කියනවා බොන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැලු. අවසානෙට කතා කරේ වැසිකිළියේ තියා ගෙන රොටියක් කන ගමන්, ගේ විකුණලා හරි ගෙන්න ගන්න කියනවා. නැත්තං එයා එහේ සියදිවි හානි කර ගන්නවා කියලා කියනවා. ඉන්න මහල් නිවසෙන් බිමට පනිනවා කියනවා, නැත්තං පිහියෙන් ඇන ගන්නවා කියලා කියනවා, දැන් දවස් කීපයක් කතා කළේ නැහැ. අපි හරි බයෙන් ඉන්නේ, එයාලා එහේ වැඩ කරන දවස්වලට අදාළ පඩිය ගන්නෙ කාන්තාවන් තුන් දෙනෙක් කියලා කිව්වා. ලෙඩෙක් නිසා මට කුරුණෑගල ඒජන්සියට යන්න විදියක් නැහැ. ඒජන්සියේ අතරමැදියෙක් කතා කරා. එයා කියනවා කුරුණෑගල ඒජන්සියට යන්න මට එන්නලු. ඊට පස්සේ මගේ නෝනා ලංකාවට ගෙන්න ගන්න යන ගාන කතා කර ගමු කියල කියනවා. එහෙම ගන්නේ වියදම් වෙච්ච ගාස්තුලු, ඉඩම උකස් කරල නෝනව ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද පදිංචි වෙලා ඉන්න ඉඩමට ඔප්පුවක් හෝ බලපත්‍රයක් වත් නැහැ. මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ පුතාල දෙන්නෙක් ඉන්නේ මට, එක පුතෙක් පෙර පාසල් යන්නේ. නැති බැරි කම හින්දා තමයි බිරිඳ රට ගියේ මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මම රජයේ බලධාරීන්ගෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මගේ බිරිඳ ඇතුළු, ඒ රටේ නිවසක සිර කර ගෙන ඉන්න පිරිස ලංකාවට ගෙන්නලා දෙන්න කියලයි.

මෙම ජාවාරමට හසුව ඉන් මිදී මෙරටට පැමිණි අනුරාධපුර, පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින තුෂාරා නිල්මිණි මහත්මිය ඒ මෙසේ කීය.

“මම ජුනි 30 ඩුබායිවලට ගියා එතනට ගියා ගියාම එහේ ඒජන්සියක මාව මාසයක් හිර කර ගෙන හිටියා. ඊට පස්සේ ජූලි 21 මාව ගෙදරක වැඩට දැම්මා. ඒ ගෙදර මැඩම් හරි නරකයි. එයා මානසික ලෙඩකට බෙහෙත් ගන්නවා. ඊට පස්සෙ මම ඒජන්සියට කතා කරලා කිව්වා, මාව වෙන ගේකට මාරු කරලා දෙන්න කියලා. ඒ අය මාසයක් ඉන්න කිව්වා. මාසේ හිටියම තවත් දවස් දහයක් ඉන්න කිව්වා. මහත්තයට කතා කරල මේ සම්බන්ධයෙන් කිව්වා.

ඊට පස්සේ බැරිම තැන අපි පදිංචිවෙලා ඉන්න ඉඩම සහ නිවස උකස් කරල තමයි මගේ මහත්තයා මාව ලංකාවට ගෙන්න ගත්තේ. මාව ලංකාවට එවන්න කලින් හඬ පටයක් එයාලා ගත්තා. ගැහුවේ නෑ, සල්ලි ගත්තෙ නෑ, ආහාර පාන බෙහෙත් අවශ්‍ය වෙලාවට ලබා දුන්නා කියලා, ඒවා හඬ පටයට කියන්න කිව්වා. එයාලා ඒක පටිගත කර ගත්තා. මම ඒ දවස්වල වැඩ කරපු සියලුම පඩිය එයාලා ගත්තා. මට සතයක්වත් ලැබුණේ නැහැ. මම මෙහෙම ලංකාවට ආවට අනිත් අයට එන්න ලැබුණේ නැහැ. වයස 60ට වැඩි අම්මලා එතන හිර කර ගෙන ඉන්නවා, හොඳට උයන්න පිහන්න ගේ දොර වැඩ කරන්න පළපුරුදු තියෙන හින්ද, මේ හිර කර ගෙන ඉන්න ගෙදර ගෑනු තුන්දෙනා එම වයසක අම්මලා වැඩට වැඩි පුර යොදවනවා, මෙතන ඉන්නේ කුරුණෑගල විදේශ රැකියා ආයතන කිහිපයකින් ගියපු අය.

මම මේ සම්බන්ධයෙන් විදේශ සේවා කාර්යාලයේ මම පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කවුද දන්නේ නැහැ, කෝල් කරලා, මට කියනවා මුදල් දෙන්නම් පැමිණිල්ල අස් කර ගන්න කියලා, කට උත්තරයක් ගන්න එන්න කියලත් කියනවා. මම දන්නෙ නෑ ඒ ඒජන්සියෙන් ද කතා කරන්නේ, විදේශ සේවා එකෙන්ද කියලා. මම ඉල්ලන්නේ මගේ වැඩ කරපු පඩිය දෙන්න කියලයි. මාව ගෙන්න ගන්න ගියපු මුදල් දෙන්න කියලයි තවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් මෙහි සිර කරගෙන සිටිනවා.

අවුරුදු 65 ක අම්මා කෙනෙක් ඉන්නවා පොළොන්නරුවෙන් ගියපු පොඩි මැණිකෙ කියලා, සීනි අමාරුව, තව අම්මා කෙනෙක් ඉන්නවා හලාවතින් ගියපු මරිය කාන්ති කියලා එයාලගෙන් හොඳටම වැඩ ගන්නවා. මොකද එයාලට කෑම උයන්න පුළුවන් හොඳට ගේ දොර වැඩ දන්න නිසා, ඒත් ඒවා කරන්න ඒ අයට ශක්තියක් නැහැ.

ගෙවල්වල වැඩට දාන කාන්තාවන්ගෙන් උදේ 6:00 ඉඳලා රෑ 12 විතර වෙනකම් වැඩ ගන්නවා. ලැබෙන පඩිය කීයද කියලා අපිවත් දන්නෙ නැහැ. අවුරුද්දක් විතර කාලයක් ඉන්න අයත් ඉන්නවා ඒ අය ඉන්නේ අජ්මාන් කියන නගරයේ නිවසක රඳවලා. එම නිවසේ වැසිකිළි පහසුකම් අවමයි එක්වර පෝලිමේ 50ක් පමණ ඉන්නවා වැසිකිළි යන්න.

මම ලංකාවට ආවට පස්සේ දුක් විඳින ඒ අම්මලා වෙනුවෙන් එයාලා ගෙන්න ගන්න, බලධාරීන් දැනුවත් කරන්න, මම සති මැද පුවත්පතකට කිව්වා. ඒ පුවත දැකලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ගොඩක් ලැබුණා, ඒ කතා කරපු එක මිස් කෙනෙක් මගෙන් අහනවා ශ්‍රී ලංකාවේ කාන්තාවන් හිරකරගෙන ඉන්න නිවස පාලනය කරන කාන්තාවන් රසිකයි, නදීෂායි, ඉන්නවද කියලා.

මේ පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත් කර ඇති බවත් කඩිනමින් ඩුබායි රාජ්‍යයේ දුෂ්කරතාවයට පත්ව සිටින එම සියලුම කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම පවුල්වල සාමාජිකයන් රජයෙන් ඉල්ලා සිටී.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment