ඩොලර් ගොඩක් උඩ ඉඳගෙන ලෝකෙට ණයවෙන හැටි!

824

මහාචාර්ය අතුල සේනාරත්නගෙන් හෙළිදරව්වක්

මේ මිහිමත පිහිටා ඇති සෑම රටක්ම එක හා සමාන නැත. එක රටකට එක දෙයක් ලැබෙන විට තවත් දෙයක් නොලැබේ. නමුත් දෙවියන්ගේ පාරාදීසයක් බඳු වූ අපේ රට ගංගා, ඇළ, දොළ, මුතුමැණික් ආදී ලෙසින් ලොව කලාතුරකින් රටකට පහළ වන සියලුම සම්පතින් පිරී පවතී. නමුත් අවාසනාවකට මෙන් අපේ රටට මෙම සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන රට දියුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීමට සුදුසු පාලකයන් නැත. එසේ සිටියානම් ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ බලගතුම රටක් වී හමාරය.

අප වාඩි වී සිටින මහා ධන නිධානයේ දිග පළල හරියටම මෙතෙකැයි කියා අප තවමත් දැනුවත් නැත. දැනට කර ඇති පර්යේෂණවලට අනුව තවත් වසර සිය ගණනක් මෙරට සංවර්ධනය කිරීමට තරම් සම්පත් ප්‍රමාණයක් පවතින බව කීප විටකදීම පෙන්වා දුන්නත් එම කරුණු හමස් පෙට්ටියට යනවා මිස ඉන් කිසිදු ප්‍රයෝජනයක් අද වන තෙක් ගෙන නැත.

● අතීතයේදී මුතුන්මිත්තන් භාවිත කළ තාක්ෂණය

ඩොලර් ගොඩක් උඩ ඉඳගෙන ලෝකෙට ණයවෙන හැටි!
අතීතයේ අපි යකඩ නිපදවූ හැටි

අතීතයේ දී මෙරට ජනයා භාවිත කළ තාක්ෂණය පිළිබඳ අදටත් විද්‍යාඥයන්ට පවා සොයාගත නොහැකි මට්ටමක පවතී. එසේම මෙරට තුළ දියුණු යකඩ කර්මාන්තයක්, රන් කර්මාන්තයක් සහ අනෙකුත් බොහෝ කර්මාන්ත තිබූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. මේ වන විට රටට අවශ්‍ය යකඩ පිටරටින් ආනයනය කළත් අතීතයේදී මෙරටට අවශ්‍ය යකඩ මෙරටදී නිපදවා ඇත. 18 වන සියවසේදී ලෝහ නිස්සාරණය එංගලන්තයෙන් ආරම්භ වුණැයි පැවසුවද ඊට බොහෝ කලකට පෙර සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්‍ෂණය දැන සිටි බවට සාක්‍ෂි හමුවේ. ඒ සමනලවැව ප්‍රදේශයෙන් සහ සීගිරියෙන් සුළං මගින් යකඩ උණුකරන උදුන් සොයා ගැනීමත් සමගය. ක්‍රි.ව. 7-10 අතර කාලයට අයත් යැයි සැලකෙන මෙම උදුන් වලින් කියාපාන්නේ සුද්දා වැද්දා කාලයේ හෙළයා වැඩකරුවකු බව නොවේද? මෙයින් කියාපාන්නේ මෙරට දියුණු තාක්‍ෂණයයි. උදුන් හමුවූවානම් ඒ සඳහා අවශ්‍ය යකඩ මේ රට තුළම තිබිය යුතුය. මෙරට සතුව යකඩ නිධි පවතින බවට දැනට වසර 20 කට පෙර සිටම විද්‍යාඥයන් විසින් පෙන්වා දුන්නත් අදටත් ඒ කෙරෙහි කිසිදු අවධානයක් යොමු කර නැත. ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයන් අතුරින් එක් අයෙකි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න. මේ ඔහු මෙරට යකඩ කර්මාන්තය පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි.

● ලංකාවේත් යකඩ නිධියක්

අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට මෙරට තුළ විශාල යකඩ නිධියක් පිහිටා තිබේ. ඒ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල පැලවත්ත ප්‍රදේශයේ ය. පැලවත්ත සීනි සමාගම පිහිටි භූමියට මායිම්ව කතරගම දේවාලයට අයත් භූමි භාගයක අක්කර 200 කට අධික භූමියක මෙම යකඩ නිධිය පිහිටා ඇතැයි පැවසේ. මීටර් 150ක් පමණ ගැඹුරට කන්දක් ආකාරයෙන් පිහිටා ඇත. මෙම යකඩ නිධිය පිළිබඳ ඒ මහතා මුල්වරට අනාවරණය කර ඇත්තේ 2001 වසරේදීය. මෙරට සතුව ඇති ඛනිජ සම්පත් පිළිබඳ අධ්‍යනය කළත් ඒවා අධ්‍යනයන්ට පමණක් සීමාවී තිබේ. නිකරුනේ බිලියන ගණනක් මුදල් විදෙස් රටවලට ඇදී යන්නේ මෙරට මෙරට සතුව යකඩ සම්පත තිබියදීය.

● අපටත් යකඩ හදන්න පුළුවන්

ඩොලර් ගොඩක් උඩ ඉඳගෙන ලෝකෙට ණයවෙන හැටි!

මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට යකඩ නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු තත්ත්වයේ යපස් නිධියක් මෙරට තුළ පවතී. ඒ සුළුපටු ප්‍රමාණයක් නොවේ. ඒ තුළ ඇති යසස් ප්‍රමාණය ටොන් මිලියන 90ක් වෙතැයි ඒ මහතා පවසයි. ඒ තුළ 97.5්‍ර යකඩ ඔක්සයිඩ් සහ 3්‍ර ටයිටේනියම් අඩංගුය. මේ පිළිබඳ නිවැරදිව දත්ත ලබා ගැනීමට අවශ්‍ය නිසා ගවේෂණ කටයුතු සඳහා සමාගමකට අවසර දී ඇත. එම ගවේෂණ කටයුතු අවසන් වූ පසු මේ පිළිබඳ නිවැරැදිව තක්සේරුවකට පැමිණිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිදුකළ පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන 50ක් ඇති බවයි. ඊට අමතරව ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් කණ්ඩායම් පැමිණ මෙහි ආයෝජනය කිරීමට කැමැත්ත පළකළත් තවමත් යකඩ නිධිය නොසෙල්වී යකඩයක් මෙන් තිබේ. මෙතරම් යපස් ප්‍රමාණයක් මෙරට සතුව තිබුණද ඒවා යකඩ බවට පත් කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය අප සතුව නොපවතී. කලක් යකඩ සඳහා නම් දැරූ රජයේ ආයතන තිබිණි. ඔරුවල වානේ සංස්ථාව කුණු කොල්ලයට පෞද්ගලික අංශයට විකුණා නොදැමුවා නම් විදේශීය සමාගමක් සමග සම්බන්ධ වී හෝ මේ වන විට මෙරට ශක්තිමත් යකඩ කර්මාන්තයක් බිහිකිරීමට ඉඩ තිබිණි. එසේ වූවා යකඩ ආනයනය කරනවා වෙනුවට මෙරටට විශාල විදේශ විනිමයක් ලැබිය හැකි ආකාරයට යකඩ අපනයනය කරන්නට බොහෝ අවකාශ තිබිණි.

අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට යකඩ කර්මාන්තය දියුණු කිරීමට නම් පළමුව ඉතා ශක්තිමත් බලශක්ති ප්‍රභවයක් පැවතිය යුතුය. අධි වෝල්ටීයතාවයකින් යුතු විදුලි බල පද්ධතියක් ඊට අවශ්‍ය වේ. එකවරම සියයට සියයක් පිරිසිදු යකඩ මෙරට නිපදවිය නොහැකි වුවත් අවම තරමින් යකඩ සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍ය හෝ නිපදවිය හැකි නම් විදෙස් රටවලට ඇදී යන විදෙස් මුදල් කන්දරාවෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරට ඉතිරි කරගත හැකිය.

● යෝජනා අවුරුදු විස්සක් හමස් පෙට්ටියේ

ඩොලර් ගොඩක් උඩ ඉඳගෙන ලෝකෙට ණයවෙන හැටි!

යකඩ කර්මාන්තය දියුණු කිරීම සඳහා වන යෝජනා මේ වන විට වසර විස්සකට අධික කාලයක් මුළුල්ලේ පත්වන සෑම රජයකටම, සෑම ඇමැතිවරයෙකුටම, සෑම නිලධාරියෙකුටම කොතෙක් දැනුවත් කළත් ඒවා නිකන්ම නිකන් සතුටු සාමීචිවලට පමණක් සීමා වී තිබේ. එම ස්ථාන නිරීක්ෂණය කළ අවස්ථා බොහෝ වේ. නමුත් ඒවා නිරීක්ෂණවලට පමණක් සීමාවී තිබේ.

2020 වර්ෂයේ විමල් වීරවංශ මහතා කර්මාන්ත ඇමැති ධුරය දැරූ අවධියේදී යපස් නිධිය පිහිටි භූමියේදීම පවසා ඇත්තේ මෙයින් රටට උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. නමුත් අද වනතුරු ගත් ක්‍රියාමාර්ගයක් නැත.

නිරීක්‍ෂණවලින් එහාට දෙයක් සිදුව නැත්තේ පිටරටින් යකඩ ආනයනය කරන විට ලැබෙන කොමිස් කුට්ටි මෙරට රජයේ කර්මාන්තශාලා තුළින් නොලැබෙන නිසා වන්නට පුළුවන. නොඑසේ නම් ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසාද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් හැමදාමත් ඡන්ද කාලයට නම් මේ මාතෘ භූමියෙන් ගෑස් නිධි පහල වේ. රත්‍රන් නිධි පහල වේ. තෙල් ආකර පහල වේ. මෙවැනි ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගෙන රට සංවර්ධනය කරන ආකාරය දේශපාලනඥයන් ජනතාවට ඉදිරිපත් කරන්නේ සුරංගනා ලෝකයක් ජනතාව ඉදිරියේ මවා පාමිනි. නමුත් ඒ යෝජනා සියල්ලට ලැබෙන්නේ ඡන්ද පත්‍රිකාවට මෙන් කතිරය පමණි.

මේ පිළිබඳව මහාචාර්ය සේනාරත්න මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“දේශපාලනඥයො මේ පිළිබඳව උනන්දු නොවන්නේ ස්වභාවික සම්පත් පිළිබඳ ඔවුන්ට තිබෙන දැනුම අල්ප නිසයි. දේශපාලනඥයන්ගේ චින්තනය වන්නේ සෑම දෙයක්ම පිටරටින් ගෙන ඒමට හැකියාව පවතින බවයි. නමුත් දේශපාලනඥයන්ට තේරෙන්නෙ නැහැ රටින් බඩු ගේන්න පුළුවන් වෙන්නෙ මෙහෙ සල්ලි උත්පාදනය වුණොත් විතරයි කියන එක”

මේ වනවිට මෙරටට සිදුව ඇත්තේ එම සත්‍යය වටහා නොගැනීම ය. රට තුළ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේවල් පවා ආනයනය කිරීමට පෙළඹීමත් සමග මෙරට සතු හැම සතයක්ම විදෙස් රටවල් වෙත ඇදීගොස් තිබේ. භාණ්ඩ අපනයනය කරනවා වෙනුවට ඉවක් බවක් නැතිව භාණ්ඩ ආනයනය කිරීමේ ප්‍රතිඵලවලට අපට දැන් මුහුණ පෑමට සිදුව ඇත.

මෙරට නායකයන්ට මෙම භූමියෙහි අති වටිනාකම නොතේරුනාට මේ වනවිට විදෙස් රටවල් කීපයක් මෙම භූමියේ ඇති ඛනිජ සම්පත්වල වටිනාකම හඳුනාගෙන එම සම්පත් තමන් සතුකර ගැනීමට උත්සාහ දරනවාද?

ලොව සෑම රටක් ම දියුණු වී ඇත්තේ මහ පොළොවේ ඇති ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙනි. එක් රටක් ගල් අඟුරු අපනයනය කර දියුණු වන විට තවත් රටක් වූ දියුණු වී ඇත්තේ ඉන්ධන අපනයනයෙනි. තවත් රටක් මැණික්වලින් දියුණු වන විට අනෙක් රට ඛනිජ වැලි ආදියෙන් දියුණු වී තිබේ. හැමදාමත් අනුන්ට අත පා රටේ අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රමයට නැවතීමේ තිත තබන තාක් මෙරට සංවර්ධනය කළ නොහැක. පාලකයන් මෙන්ම ජනතාවද පුරුදු පුහුණු වී සිටින්නේ හිඟා කා කා ජීවත් වීමටය. හිඟන්නාට කොතරම් හොඳ රැකියාවක් ලැබුණද ඔහු කැමති හිඟා කෑමටය. අපට සිදුව ඇත්තේද ඒ ටිකය.

අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දහසක් කොන්දේසිවලට යටත් වී ණය ලබා ගන්නට ආණ්ඩුව උත්සාහ කළත් මේ රට හිඟා කෑමට අවශ්‍ය රටක් නොවේ. මේ අවස්ථාවේ රජය සතු ජාතික සම්පත් විකුණා රටට කන්න දුන්නත් ඊළඟ අවස්ථාවේ විකුණන්නට දෙයක් නොමැති වූ විට පාලකයන් විසින් මෙරට ජනතාව වහල් සේවයට නො විකුණාවි යැයි සහතික විය හැක්කේ කාටද.

1977 විවෘත ආර්ථිකයත් සමග මෙරට වෙළෙඳ පොළ විදෙස් රටවලට විවෘත කළත් අපි විදෙස් වෙළෙඳ පොළ ආක්‍රමණය කළේ නැත. 1977 ට පෙර මෙරට බොහෝ සම්පත් විදෙස් රටවලට අපනයනය කර තිබේ. මීට වසර 100 – 150කට පෙර පවා මෙරටින් මිනිරන් ටොන් 30,000 කට අධික ප්‍රමාණයක් වර්ෂයකට අපනයනය කර තිබේ. දෙවන ලෝක යුද සමයේදී මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් පත්ව තිබූ මිනිරන් අපනයනය අද වන විට වසරකට ටොන් 300 දක්වා පහත බැස ඇතැයි අතුල සේනාරත්න මහතා පැවසුවේ කලකිරීමෙනි. වර්ෂ 1900 වැනි වසර වන මෙරට ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ මුතු ය. නමුත් අද වන විට මුතු මෙරටට ආනයනය කරන තත්ත්වයට පත්ව තිබේ.

කාලයෙන් කාලයට මෙරට ආර්ථිකය ශක්තිමත් කළ ඛනිජ ද්‍රව්‍ය අපේම වරදින් මේ වන විට අහිමි කරගෙන තිබේ. මැණික්වලට අත්ව ඇත්තේද ඒ ඉරණම මය. වෙනත් රටවලින් ගෙනවන තත්ත්වයෙන් බාල මැණික් හෝ විවිධ තාක්‍ෂණික ක්‍රම ඔස්සේ කෘතිමව නිපදවූ මැණික් සමග අපගේ මැණික් මිශ්‍ර කර අපනයනය කිරීමෙන් මෙරට වෙළඳ පොළ බිඳ වැටී තිබේ. මෙරට තත්ත්වයෙන් උසස් භාණ්ඩ හැම එකකටම අද ලෝකයේ පිළිගැනීම අවම වී තිබෙන්නේ කපටි වැඩ කරන්නට යෑමෙනි.

● පියවරෙන් පියවර ඉදිරියට

මහාචාර්යවරයා පවසන ආකාරයට අප වැනි කුඩා ආර්ථිකයක් හිමි රටකට එකවර නිමි භාණ්ඩ අපනයනය කළ නොහැක. ඒ සඳහා පියවරෙන් පියවර තැබිය යුතුය. අවුරුදු දහයක් පහළොවක් යන විට එම තත්ත්වයට පත් වීමේ ඉලක්කය පෙරදැරිව ජාතික ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කළහොත් වැඩි කාලයක් නොගොස් එම ඉලක්කයට අපට ළඟ විය හැක. මේ වනවිට විවෘත වෙළෙඳ පොළේ ග්‍රැෆයිට් ටෝන් එකක් ඩොලර් 3000 වන විට ග්‍රැෆීන් කිලෝ එකක් ඩොලර් 5000 ක් පමණ වේ. අප හැමදාමත් අමුද්‍රව්‍ය අපනයනය කළ යුතු නැත. නමුත් අවම තරමින් යම් ස්ථාවර මට්ටමකට පත්වන තුරු හෝ මෙරට ඛනිජ සම්පත් අමුද්‍රව්‍යක් වශයෙන් හෝ ප්‍රයෝජන ලැබිය යුතුය.

● පරිසර අමාත්‍යාංශයෙන් සංවර්ධනයට බාධා

රටක් සංවර්ධනය වීමට නම් රාජ්‍ය ආයතන එකකට එකක් සම්බන්ධ විය යුතුය. එක් ආයතනයකින් අනුමැතිය ලැබෙන විට තවත් ආයතනයකින් ඊට විරෝධය දක්වයි නම් රටක දියුණුවක් දැකිය නොහැකිය. මහාචාර්යවරයා පවසන ආකාරයට භූගර්භ සම්පත් පරිසර අමාත්‍යාංශයෙන් ඉවත් කර කර්මාන්ත අමාත්‍යාංශයට පැවරිය යුතුය. විමල් වීරවංශ මහතා යපස් නිධිය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මෙම සම්පත කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරාගන්නා බව පවසා ඇතත් රට තුළ ඇති වූ දේශපාලන අවුල් වියවුල් නිසා එසේ නොවන්නට ඇත. පරිසර අමාත්‍යාංශයේ තේමාව වෙනම එකක්. ඔවුන් පොළොව කණිනවා ට කැමැත්තක් නැත. නමුත් පොළොවෙහි පවතින ඛනිජ සම්පත් නිකරුනේ තිබීමෙන් රටට, ජනතාවට ඵලක් වන්නේද නැත. එයින් ප්‍රයෝජනයක් ලැබීමට නම් අදාළ අමාත්‍යාංශවලට නිවැරදිව විෂය පථයන් වෙන් කළ යුතුය. නැතිනම් සිදුවන්නේ හැමදාමත් මේ සෑම අමාත්‍යාංශයක්ම පාඩු ලැබීම ය. රජයට බරක් වීමය. උදාහරණයක් ලෙස ගතහොත් වැව එක් අමාත්‍යාංශයකටත් ඇළමාර්ග තවත් අමාත්‍යංශයකටත්, වැවේ වතුර තවත් අමාත්‍යාංශයකටත් එයින් අස්වැද්දන වූ කුඹුරු තවත් අමාත්‍යාංශයකටත් වූ විට දියුණු කෘෂිකර්මාන්තයක් අපේක්‍ෂා කළ නොහැක. එසේ නොවී මේ සියල්ල එකට බැඳී පැවතියහොත් පරිසරයට අවම හානියක් සිදුවන අයුරින් රට සංවර්ධනය කළ හැක.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment