ඩොලර් – දැනට විසඳුණා: තෙල් නැව් 02ක් ආවා – සපුගස්කන්ද වැසුවත් ඉන්ධන හිගයක් නෑ – ඇමැති ගම්මන්පිල

343

* තෙල් නැව් දෙකම වරායේ හිරවෙලා – ආනන්ද පාලිත

සපුගස්කන්ද පිරිපහදුව අද (03 දා) වසා දැම්මත් රටේ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.

රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බොර තෙල් ගෙන ඒමට යම් බාධාවක් ඇති වුවත් එම තත්ත්වය මේ මාසය අවසන් වන විට විසඳා ගැනීමට හැකියාව පවතින බවට තමන් විශ්වාස කරන බව ද ඇමැතිවරයා කීය.

එමෙන්ම මේ වන විට රටට ඞීසල් සහ පෙට‍්‍රල් පිරිපහදු තෙල් නැව් දෙකක් ගෙන්වා තිබෙන බවත්, එහි ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය ඩොලර් ගැටලූව පසුගිය සිකුරාදා (31 දා) විසඳා ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරයා කීය.

මේ අතර ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක ආනන්ද පාලිත මහතා කියා සිටියේ මෙරටට ගෙන්වා ඇති ඞීසල් සහ පෙට‍්‍රල් නැව් දෙකේ ඉන්ධන ගොඩබෑම සඳහා ඊයේ සවස් වනතෙක් මුදල් ගෙවීමක් කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිත බවට වාර්තාවන බව ද ඔහු කීය.

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000 ක් ඇතුළත් ඞීසල් නැව මෙරටට පැමිණියේ පසුගිය 26 වැනිදා බවත්, ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 35,000 ක් අයත් පෙට‍්‍රල් නැව මෙරටට පැමිණියේ පසුගිය 28 වැනිදා බවත් ඔහු පවසයි.

පෙට‍්‍රල් නැවේ 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 35,000 ක්ද 95 වර්ගයේ මෙටි‍්‍රක් ටොන් 5000 ක් ද තිබෙන බව ද ඔහු කීය. ඉන්ධන ගොඩබෑමට පැමිණි නැවක් ඉන්ධන ගොඩබෑම දින තුනකට වඩා ප‍්‍රමාද වන්නේ නම් එක් දිනකට ඩොලර් 25,000 බැගින් ප‍්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවන බව ද ඔහු කීය.

සපුගස්කන්ද බලාගාරය වසා දැමීම නිසා දෛනික ඞීසල් අවශ්‍යතාවයෙන් සියයට 29 ක්, පෙට‍්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 14 ක් මෙන්ම භූමිතෙල් අවශ්‍යතාවයෙන් සියයට 100 ක් ම අහිමි වන බව ද ඔහු කීය. එල්.පී. ගෑස් නිෂ්පාදනයට සියයට 05 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වීම මෙන්ම දැවිතෙල් නිෂ්පාදනය නතර වීමෙන් ඉදිරියේදී විදුලි අර්බුදයකට යෑමට පවා සිදුවන බව ද ඔහු පැවසීය.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටියේ සපුගස්කන්ද පිරිපහදුව මේ ආකාරයෙන් වසා දැමීම බලාගාරයට ඉතාම අහිතකර බවය. මෙම බලාගාරය සකස්කර ඇත්තේ වසර 02 ක් අඛණ්ඩව වැඩකර අලූත්වැඩියා කිරීම සඳහා මාසයක පමණ කාලයක් වසා තැබීමට හැකි ආකාරයට බව ද ඔහු කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment