ඩොලර් නැතිකමින් බොරතෙල් අවුල ඔඩු දුවයි – සපුගස්කන්දේ වැඩ නතර වුණේ රටේ ඩොලර් නැතිවීම නිසයි

820

– ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නවතා දැමීමෙන් රට බංකොළොත් භාවයට පත්ව ඇති බවට ජාත්‍යන්තරයට පෙනී යනු ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවැසීය.

බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද පිරිපහදුව පවත්වාගෙන යා නොහැකිව වසා දමන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඉතා පහසුවෙන් පැවැසුවත් එය රටේ ඩොලර් නැතිවීම නිසා සහ නිසි ක‍්‍රමවේදයකින් ඒවා ලබාගැනීමට කටයුතු නොකිරීම නිසා ඇතිවූ ගැටලූවක් බව ඇමැතිවරයා ප‍්‍රකාශ කළයුතු බවද ඔහු කීය.

ඉන්ධන පිරිපහදුව ආරම්භ කර වසර 37 කට අධික කාලයක සිට සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන බවත් මැදපෙරදිග යුද්ධය පැවැති කාලයේදීද පිරිපහදුවට ඉන්ධන අඛණ්ඩව ලබාගැනීමට එවක බලධාරීන් කටයුතු කළත්, එවැනි යුද්ධයක පෙර නිමිත්තක් හෝ නොමැති කාලයක බොරතෙල් ගෙන්වීමට බලධාරීන්ට නොහැකි වීම ලැජ්ජා සහගත කරුණක් බවත් ඒ මහතා පැවැසීය.

ඉන්ධන පිරිපහදුව නවතා දැමීමට කටයුතු කළහොත් පිරිපහදු පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල්, දැවිතෙල් වශයෙන් ගෙන්වීමට රජයට සිදුවන නිසා විශාල ඩොලර් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම කීවේය.

බොරතෙල් පිරිපහදුවෙන් නොමිලේ නිෂ්පාදනය කළ භූමිතෙල් සහ දැවිතෙල් රටින් ගෙන්වීමටත් වඩා වැඩි අවාසියක් පිරිපහදු ඉන්ධන ආනයනය කිරීමෙන් සිදුවන බවත්, එය පිරිපහදු තෙල් සපයන සැපයුම්කරුවන් නියම කරන මිලකට ගැනීමට සිදුවීම නිසා වෙනදාට වඩා වැඩි ඩොලර් ප‍්‍රමාණයක් ඉන්ධන ගෙන්වීමට රජයට දැරීමට සිදුවන බවත් අශෝක රන්වල මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment