ඩොලර් නැතිව ළතැවුණ ඉන්ධන නැවෙන් සාම්පල් ගන්න මුහුද පීරලා

771

හදිසි මිලදී ගැනීමක් යටතේ කොළඹ වරායට ගෙන්වාගෙන තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 ක් අඩංගු නෞකාවට ඩොලර් මුදාහැරීම පමා කිරීම නිසා එම නෞකාව ආපසු හරවාගෙන ජාත්‍යන්තර මුහුදට ගිය පසු ඩෝරා යාත‍්‍රාවක් යොදවා එම නෞකාවෙන් ඉන්ධන සාම්පල් ගෙනැවිත් රසායනාගාර වෙත යවා තිබේ.

මෙම නෞකාව දින හතරක් තිස්සේ වරායේ නැංගුරම්ලා තිබී ඇති අතර නෞකාව නිදහස් කර ගැනීමට ඩොලර් මුදාහැරීම පමා වූ පසු මුහුදු සැතපුම් 50 ක් පමණ ඈතට නෞකාව ගිය පසු මෙලෙස ඩෝරා යාත‍්‍රාව එහි යවා ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

සිංගප්පූරු සමාගමකින් හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඞීසල් තොගය ඇණවුම් කර ඇත.

ඉන්දීය රජය සමග ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමට එකඟව තිබියදී මෙකී සිංගප්පූරු සමාගමෙන් හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් නෞකාව දින පහක් තිස්සේ කොළඹ වරායේ තිබූ පසු එම නෞකාව ආපසු මෙලෙස ජාත්‍යනතර මුහුදු තීරයට ගොස් තිබිණි. මෙම සමාගමෙන් ලබාගත් ඞීසල්වල මිල ගණන් ද ඉහළ අගයක් ගන්නා බවත් දැනට කර තිබෙන ගණනය කිරීම්වලට අනුව එක් බැරලයක් සඳහා ඩොලර් 1.5 ක් ගෙවීමට සිදුවන බවත් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම නෞකාවෙන් ලබාගත් සාම්පල් පරීක්‍ෂණයෙන් පසු ඉන්ධන ගොඩබෑම ආරම්භ කළත් ප‍්‍රමාද වූ එක් දිනකට ඩොලර් 18000 බැගින් ගෙවීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment