ඩොලර් නැති රටක රුපියල් සත වෙනුවෙන් ‘පාරට’ බැස්ස ගැහැනු

299

පසුගිය මාස කිහිපය තුළ ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ වර්ධනයක්

ප්‍රධාන නගර ආශ්‍රිතව තාවකාලික ගණිකා මඩම් ඉදිවෙලා

ANI ඉන්දීය පුවත් සේවය කියන කතාව ඇත්ත නම් තත්ත්වය භයානකයි!

මෑත කාලීන ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් දරුණු ආර්ථික අර්බුදයකට මේ වන විටත් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ සියලුම ක්ෂේත්‍ර දැන් තිබෙන්නේ අඩපණවය. අධ්‍යාපනික, සෞඛ්‍ය, ආගමික, දේශපාලන, සමාජයීය සංස්කෘතික ආදී සියලුම ක්ෂේත්‍ර කෙරෙහි මේ ආර්ථික අර්බුදය සෘජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරමින් සිටියි. තවමත් වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල අඩුවක් නැත.

එදිනෙදා වේල පිරිමසා ගන්නා මිනිසුන් පමණක් නොව, පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන පිරිස් පවා අද ගෙවන්නේ දුෂ්කර ජීවිතයකි.

“හිඟා නොකා හිඟා කනවා ”, “මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා” බහුතරයක් මිනිසුන් ජීවිතය පවත්වා ගැනීම පිළිබඳව’ කියන්නේ එවැනි කතාය. කුසගින්න දරාගත නොහැකිව සියදිවි නසා ගත් මිනිසුන්, ජීවිතය අත් හරින්නට උත්සාහ ගන්නා මිනිසුන් මෙන්ම වේලක් හැර වේලක් කහට කෝප්පයකින් පමණක් කුසගිනි නිවා ගන්නා මිනිසුන්, දරුවන්ගේ කුස පුරවා නිරාහාරව සිටින මිනිසුන් ආදී කී නොකී විවිධාකාරයෙන් දුක් විඳින දහසක් මිනිසුන් පිළිබඳව තොරතුරු ඕනෑවටත් වැඩියෙන් අපට වාර්තා වේ. ඒ හැම මිනිසෙකුගේම කතාන්දරය වචන වලට නැගිය නොහැකි තරමටම දුක්බර ය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවෙහි දැක්වෙන පරිදි, 2022 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මෙරට ආර්ථිකය ඍණ 1.6 කින් හැකිළී තිබේ. 2015 වර්ෂයේ සිටම ආර්ථික වර්ධන වේගය පැවතී ඇත්තේ පහළ මට්ටමකය. 2019 වන විට එම අගය 2.3 දක්වා අඩු වී ඇති අතර 2020 සහ 2021 වර්ෂවලදී ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් වාර්තා කළේය. එම තත්ත්වයේ සිට ආර්ථිකය තවත් පහතට වැටීමකට ලක්ව ඇති බව නවතම දත්ත මගින් පැහැදිලිව පෙන්නුම් කරයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට බලපෑම් ඇතිවීම සහ වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය නිසා ආර්ථිකය අඛණ්ඩව කඩාවැටීමකට ලක්ව තිබේ.

මෙලෙස ආර්ථිකය කඩා වැටීම නිසා මේ වන විට මිලියන විසි දෙකක් පමණ වන ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවට සහ ආහාර හිඟයට මුහුණ දෙමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් පර්යේෂණවල නියැලුණු පර්යේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම මේ වන විට කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් ඇතුළු බොහෝ පිරිසක් මන්දපෝෂණය වැනි සෞඛ්‍ය ගැටලුවලටද ගොදුරු වෙමින් සිටින බවට සෞඛ්‍ය අංශ තොරතුරු ඉදිරිපත් කරයි.

පවතින අර්බුදමය තත්ත්වය නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වී ගොසිනි. ඇතැමුන් රැකියාවට යෑම පසෙක ලා තවමත් දින ගණනක් තෙල් පෝලිම්වල රැඳී සිටියි. වර්තමානයේ පවතින භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් දෙස බලන විට රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ රැකියා වල නිරත වන පිරිස් පවා ජීවිතය පවත්වාගෙන යෑමට මහත් දුෂ්කරතාවලට මුහුණ දෙන බව අමුතුවෙන් කිව යුතු නැත. විශාල පිරිසක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගල සමග තම නිවෙස් පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

ඩොලර් නැති රටක රුපියල් සත වෙනුවෙන් ‘පාරට’ බැස්ස ගැහැනු

රට තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇතිවීමත් සමඟ ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සහ විවිධ’ කර්මාන්තශාලා ආශ්‍රිතව රැකියාවන්වල නියැළෙමින් සිටි කාන්තාවන් විශාල ප්‍රමාණයකටද රැකියා අහිමි වී ඇති බවටද තොරතුරු වාර්තා වේ. එලෙස රැකියා අහිමි වූ කාන්තාවන් බහුතරයක් මුදල් ඉපයීම සඳහා ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇතැයි ඉන්දීය ඒ එන් අයි (ANI) පුවත් සේවය පසුගිය දිනයක පුවතක් පළ කර තිබුණි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලාංකික කාන්තාවන්ගේ රැකියා අහිමිවීම මෙන්ම භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යෑම තුළ සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම නිසා කාන්තාවන් සුවතා මධ්‍යස්ථාන වෙත යොමු වෙමින් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වෙමින් සිටින බවට එම පුවත් සේවය වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය, ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ විදෙස් මාධ්‍යද ප්‍රධාන පුවතක් ලෙස පසුගිය සතියේදී වාර්තා කර තිබුණි. ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන කණ්ඩායමක් වන ස්ටෑන්ඩප් මූව්මන්ට් ලංකා, ඉන්දීය පුවත් සේවය වෙත මේ තොරතුරු ලබාදී ඇති බව කියැවේ. කෙසේ වෙතත් මෙලෙස විදේශ මාධ්‍යවල පළවූ පුවත පිළිබඳව ලංකාවේ මාධ්‍යවලද අවධානය යොමු විය.

“දැනට පවතින අර්බුදය නිසා බොහෝ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෙදිපිළි කර්මාන්තයේ නියැළෙන්නන්. කොවිඩ්වලින් පසු රෙදිපිළි කර්මාන්තයට බලපෑම් එල්ල වී රැකියා විශාල ප්‍රමාණයක් රැකියා කපා හැර ඇති අතර දැන් පවතින තත්ත්වය ඔවුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වීමට පොළඹවමින් සිටිනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් සේවයෙන් පහකිරීමෙන් පසු රෙදිපිළි කර්මාන්තයේ නියැළෙන කාන්තාවන් ‘ලිංගික රැකියා’ සඳහා යොමුවෙමින් සිටිනවා” ස්ටෑන්ඩප් මූව්මන්ට් ලංකාහි විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙණිය ඒ එන් අයි ( ANI) වෙත ප්‍රකාශ කර තිබේ. මේ නිසා පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ගණිකා වෘත්තියේ සියයට 30 කින් වැඩි වීමක් දක්නට ලැබෙන බව ANI වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගම්වල සිට රැකියාවක් කිරීමේ අරමුණෙන් කොළඹ කටුනායක සහ අනෙකුත් ප්‍රධාන නගර වෙත පැමිණෙන තරුණියන්ගේ මෙන්ම මැදි වයසේ කාන්තාවන්ගේ පිහිටට සිටින්නේ බොහෝවිට ඇඟලුම් කර්මාන්තශාලාය. කොවිඩ් වාතාවරණයත් සමග එවැනි කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා දැමුණි. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ තවත් රැකියා ස්ථාන රාශියක් වසා දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිතව රැකියාවන්හි නිරත වූ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම රැකියා අහිමි විය.

තමන්ගේ මෙන්ම පවුලේ බර පවා දරන්නට මොනර කොළ සොයා දුන් රැකියාව අහිමි වීමත් සමඟ බොහෝ දෙනෙක් විකල්ප රැකියාව කෙරෙහි යොමු වන්නට පටන් ගත්තේ තමන්ගේ හුරු පුරුදු ජීවන රටාව පවත්වා ගැනීමට මුදල් අත්‍යවශ්‍යම වන නිසාය. ඒ අනුව බහුතරයක් කාන්තාවන් රූපලාවන්‍යාගාරවල, සම්බාහන මධ්‍යස්ථානවල රැකියාවන් සඳහා යොමු වී ඇති බවත් ඒ රැකියා ආශ්‍රිතවම බොහෝ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණි.

ඒ අනුව ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති සම්බාහන හා සුවතා මධ්‍යස්ථානවල රැකියා කරන කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ කතාබහ කිරීමට අපි අවස්ථාව උදා කර ගත්තෙමු. ඇතැම් කාන්තාවන් තමන්ගේ රැකියාව පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ ගත් අතර කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනන්‍යතාවන් හෙළි නොකරන ලෙසට ඉල්ලීමක්ද කරමිනි.

මෙලෙස කතාබහට එක් වූ කාන්තාවන් අතර අවිවාහක තරුණියන් මෙන්ම, විවාහක දරුවන් සිටින කාන්තාවන් ද වූහ.

මීට මාස කිහිපයකට පෙර ඇඟලුම් කම්හලක රැකියාව කර ඇති අතර එම රැකියාව අහිමිවීම නිසා ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක රැකියාවක් කරන්නට පටන්ගත් රෝෂිණී (සත්‍ය නම නොවේ) විසිපස් හැවිරිදි අවිවාහක තරුණියකි.

“මගේ පවුලේ මමයි මල්ලිලා දෙන්නයි තාත්තයි තමයි ඉන්නේ. අම්මා විදේශගත වෙලා අවුරුදු දෙකකටත් කිට්ටුයි. එයා ගැන කිසිම තොරතුරක් නැහැ. තාත්තා මේසන් වැඩ කරන්නේ. මල්ලිලා දෙන්නට උගන්න ගන්න ඕන නිසා මම ගාමන්ට් ආවා. දැන් මාස දෙක තුනකට කලින් ඒ ගාමන්ට් එක වැහුණා. කරන්නම දෙයක් නැති තැන සැලුන් එකක වැඩට ආවේ. සැලුන් එකෙන් තමයි අපිව මේ වැඩ වලට යවන්නේ. හිත පිළිගන්න අකැමැති වුණත් අතට සල්ලි එන්න නම් දැන් මේ දේවල් වත් කරන්න වෙනවා. එහෙම නැත්නම් පවුලේ අය බඩගින්නේ”කොළඹ රැකියාවක් කරමින් නිවසේ කටයුතු සඳහා මුදල් උපයන රෝෂිණී වැනි තරුණියන් මේ සමාජයේ ඕනෑ තරම්. පිටින් පෙනෙනවාට වඩා ඔවුන්ගේ ඇතුළාන්තයේ කතාව දුක්බරය.

තිස්හත් හැවිරිදි දිව්‍යානි ඒ දුක්බර කතාව මෙලෙස වචනවලට හැරවූයේ ඇස්වල කඳුළු සඟවා ගනිමිනි.

“මගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක ගිහින්. මට අවුරුදු හයක පිරිමි දරුවෙක් ඉන්නවා. එයා මගේ නැන්දලාගේ ගෙදර නතර කරලා තමයි ජොබ් එකට ආවේ. ස්පා එකක වැඩ කරනවා කිව්ව ගමන් මිනිස්සු බලන්නේ වැරදියට. කොහොමහරි දරුවව ජීවත් කරගන්නත් ඕන නේද? අපේ රස්සා කොරෝනා හින්දා නැති වුණා. දරුවෙකුත් බලාගෙන කාලා බීලා ඉන්න අද සෑහෙන වියදමක් යනවා.”

මාසයක් රැකියාව කරමින් උපයන මුදල එක් දිනකින් හෝ දින කිහිපයකින් ලබාගත හැකි නිසා ලිංගික ශ්‍රමිකයන් බවට පත් වූ කාන්තාවන් ද සිටිති. ඇතැම් කාන්තාවන් එවැනි තත්ත්වයට පත්වන්නේ දැඩි ආර්ථික අපහසුතා නිසා වුවත්, එවැනි ආර්ථික අපහසුතා නැති ස්ව කැමැත්තෙන්ම ගණිකා වෘත්තියේ යෙදෙන පිරිසක් ද සිටින බව සම්භාහන මධ්‍යස්ථානයක සේවිකාවක් අපත් සමඟ පැවසුවාය. කෙසේ වෙතත් මෙලෙස කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමත් සමගම කොළඹ සහ ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව තාවකාලික ගණිකා මඩම් ද පවත්වාගෙන යන බව අපට දැනගන්නට ලැබුණි.

ලිංගික ශ්‍රමිකයන් තම සහකරුවන් සමග ජීවත් වීමට පටන් ගත් නමුත් අර්බුදය හේතුවෙන් එම සහකරුවන් බොහෝ කාන්තාවන් හැර ගොසිනි. බොහෝ දෙනකු ගැබ් ගෙන ඇති අතර දැනට තම සංවිධානය සමඟ එවැනි ගැබිනි ගැහැනු ළමයි දෙදෙනකු සිටින බවත්, ඔවුන් රැක බලා ගැනීම සඳහා රජයෙන් හෝ සහයක් නොලැබෙන බවත් ස්ටෑන්ඩප් මූව්මන්ට් ලංකා හි විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙණිය ANI වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

රැකියා අහිමි වීමත් සමග මෙවැනි රැකියාවලට පෙලඹුණු ඇතැම් තරුණියන් සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ ගෙන ඇත.

මේ තත්ත්වයත් සමගම ලිංගාශ්‍රිත රෝගවල වැඩිවීමක් ද සිදු විය හැකි බවට අනතුරු ඇඟවෙයි. ඒ සම්බන්ධයෙන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතානී සමරවීර දැක්වූයේ මෙවැනි අදහසකි.

“එච් අයි වී සහ ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීම සඳහා පැමිණෙන පිරිස පසුගිය අවුරුද්දේ අවසාන කාලයේ සහ මේ අවුරුද්දේ මුල් කාලයේ යම් කිසි වැඩිවීමක් වෙලා තියෙනවා. නමුත් එවැනි වැඩිවීමක් වුණේ රට තුළ ඇතිවෙලා තියෙන අර්බුදය නිසාමයි කියලා පැහැදිලිව ප්‍රකාශයක් කරන්න අපහසුයි. මේ දිනවල ලිංගාශ්‍රිත රෝගවල යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිවැරදිව දත්ත ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නැහැ.

මිනිස්සු ආර්ථික වශයෙන් අපහසුතාවලට මුහුණ දෙද්දී විවිධ ආකාරයේ මුදල් ඉපයීමේ ක්‍රමවලට යොමු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ලිංගික ශ්‍රමිකයන් හැටියට අලුතෙන් පිරිසක් එක් වෙනවා නම් ඔවුන්ට මේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව හෝ, ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා අලුතෙන් මේ රැකියාවන් සඳහා කවුරුහරි යොමු වෙනවා නම්, ඔවුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් නැත්නම් යම්කිසි අනතුරක් තියෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් දත්ත වශයෙන් එය සනාථ කරන්න අපිට තවමත් තොරතුරු ලැබිලා නැහැ.

නමුත් යම්කිසි පිරිසක් ලිංගික ශ්‍රමිකයන් හැටියට කටයුතු කරනවා නම්, ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි ඔවුන්ව දැනුවත් කරනවා. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන වෙලාවක මෙවැනි රෝග තත්ත්වයන් පැතිරීම තවත් භයානකයි. මොකද මේ වෙත සෞඛ්‍ය අංශය සඳහාත් සීමිත පහසුකම් තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ වඩාත් කල්පනාකාරීව සියලු දෙනාම කටයුතු කළ යුතුයි”

ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වී ඇති බව සනාථ කිරීමට ප්‍රමාණාත්මක දත්ත නොමැති වුණත්, එවැනි අවදානමක් මතුව ඇත්නම් සියලු දෙනා වගකීම් සහගතව කටයුතු කළ බව වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධයෙන් අපේ රට තුළ විවිධ මතවාද පවතී. රටේ ආගමික සංස්කෘතික වටපිටාවක් සමඟ එම වෘත්තිය පිරිසක් ප්‍රතික්ෂේප කරන අතර තවත් පිරිසක් කියා සිටින්නේ එය නීත්‍යනුකූල කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීම පසෙකලා මේ අවස්ථාවේදී ලංකාවේ ජීවත්වෙන සියලුම දෙනාට ජීවත්වීම සඳහා මූලික අවශ්‍යතාවන් ටිකවත් සපුරාගත හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් තවත් නොබෝ දිනකින් රට තුළ දැන් පවතිනවාටත් වඩා අර්බුද සහ ගැටුම් නිර්මාණය වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. විරැකියාව, දුප්පත්කම, මන්දපෝෂණය තව තවත් දරුණුවට මිනිසුන් වෙලා ගැනීමට පෙර මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වය වැපිරිය යුතුව තිබේ. ඒ සඳහා රටේ පාලකයන්ට බලධාරීන්ට, නිලධාරීන්ට මෙන්ම රටවැසියාටද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බව අමතක කළ යුතු නැත.

කුමාරී ඉරුගල්බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment