ඩොලර් නැතුව හිරවුණු නැව මුදාහරි… පැය හතක් විදුලිය කපන්න ඉල්ලයි

326

පවතින තත්ත්වය හමුවේ අද (23 වැනිදා) සිට පැය හතක කාලයක් විදුලිය විසන්ධි කරන ලෙස ලංවිම ඉල්ලූවත් තෙල් යම් ප‍්‍රමාණයක් ලැබුණ නිසා කළාප දෙකක් යටතේ රටපුරා පැය 4.30 කට වැඩි කාලයකට විදුලිය කපා හරින බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බවත් තිබෙන්නේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන නොමැති අර්බුදයක් යැයි ද ඒ මහතා කීය.

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අවසන් අදියරට ඒමත් සමග විදුලිය කපා දමන කාලය පැය හත අටක් දක්වා වැඩි කිරීමට තරම් අර්බුදය උග‍්‍ර වී ඇතැයි මේ අතර ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙරට තාප බලාගාර සඳහා දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් හාරදහසක් අවශ්‍ය වන අතර ඊයේ (22 වැනිදා) සවස වන විට ඞීසල් සංචිත මෙටි‍්‍රක් ටොන් 1000 දක්වා පහළ බැස තිබිණි. මේනිසා තාප බාලාගාරවලින් ලබාගත් මෙගාවොට් 600 ක් පද්ධතියට අහිමිව ගොස් තිබිණි.

ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය හැර සෙසු විදුලි බලාගාර සියල්ලම පාහේ නතරව තිබූ බවද හෙතෙම කීය. ජල විදුලි නිෂ්පාදනය සියයට විස්සට පහළ බැස තිබිණි. කොළඹ වරායට දින හතරකට පෙර පැමිණ තිබෙන මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු ඞීසල් නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඊයේ (22 වැනිදා) වනතුරුම ඩොලර් මුදාහැරීමට මහ බැංකුව අපොහොසත්ව සිටි අතර මේනිසා ඉන්ධන හල්වලද ඞීසල් අවසන්ව තිබිණි.

මේ මොහොතේ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයෙන් ලබා ගන්නා මෙගාවොට් 900 ක විදුලිබල ධාරිතාව කුමන හෝ හේතුවක් මත පද්ධතියෙන් ඉවත් වුවහොත් රටම අඳුරට වැටෙන බව ලංවිම ඉංජිනේරුවෝ අනතුරු අ`ගවා සිටිති.

ඕනෑම මොහොතක යන්ත‍්‍ර එලෙස කාර්මික හා තාක්‍ෂණික දෝෂයන්ට ලක්විය හැකි බවද ඔව්හු කියා සිටිති.

මේ වනවිට තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගබඩාවල ද ඞීසල් අවසන්ව තිබූ අතර ඇති වී තිබෙන අර්බුදයට ක්‍ෂණිකව ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ඊයේ (22 වැනිදා) සවස 5.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්විය. ඩොලර් හිඟය නිසා තෙල් හා විදුලි අර්බුදය මතු වී තිබීම නිසා කරන්නට ඇති එකම විකල්පය ගමන් බිමන් සීමාකර ටික දිනකට හෝ නිවසේ සිට වැඩ කිරීමේ ක‍්‍රමයකට මාරුවීම යැයි විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝම කියා සිටිති. මෙම අර්බුදය විසඳා ගැනීමට ඩොලර් සොයාගත නොහැකි වුවහොත් විදුලිය කපන පැය ගණන නොව විදුලිය ලබාදිය හැකි පැය ගණන කීමට සිදුවන බව මුල සිටම කීවේ හේතු ඇතුව යැයි ද ඉංජිනේරුවරු සිහිකර සිටිති.

ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 අඩංගු නෞකාව මුදාහැරීමට ණයවර ලිපි (එල්සී) නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (22 දා) රාති‍්‍රයේ ‘දිවයින’ට පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment