ඩොලර් බිලියන තුනකින් ගොඩ යමු?

165

අපගේ විනිමය සහ රාජ්‍ය ණය අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම පිළිබඳවත් ඒ සමගම අපට ඉටු කිරීමට සිදුව තිබෙන කොන්දේසි පිළිබඳවත් රටේ බරපතළ සංවාදයක් තිබේ. මේ අතරිනුත් බදු පැනවීම සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යන කරණා සම්බන්ධයෙන් නොයෙකුත් විරෝධතා ද මතුව ඇත. ඇත්ත වශයෙන්ම අයිඑම්එෆ් යන්නේත් නැතුව, බදු වැඩි කරන්නේත් නැතුව, එසේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේත් නැතුව අපගේ විනිමය සහ රාජ්‍ය ණය අර්බුදය සමනය කර ගැනීමට හැකියාවක් තිබුණේ නම් එය ඉතාමත් හොඳය. එහෙත් අවාසනාවට අප මුහුණ දී සිටියේ අපගේ ඉතිහාසයේ දරුණුතම විනිමය සහ ආර්ථික අර්බුදයට බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම් මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගියාට වැඩි අමාරු තත්ත්වයකට රට මුහුණ දී සිටි බව ඇත්ත කතාවයි. ඒ නිසා මෙවර 17 වැනි වතාවට අපගේම වරදින් අයිඑම්එෆ් සහාය පැතීමට සිදුවීම අරුම පුදුම දෙයක් නොවේ. අයිඑම්එෆ් එක මෙවර මෙන්ම පසුගිය 16 වතාවේම අපගේ සහායට ආවේ බලෙන් නොව අපගේම ඉල්ලීම පරිදිය. වෙනත් රටවල් සම්බන්ධයෙන් ද තත්ත්වය එයයි. සිය සාමාජික රටක් ඉල්ලීමක් කළ විට ඒ සඳහා ඉදිරිපත්ව සහාය ලබා දෙනවා මිස ඔවුන් අපට බලෙන් සහාය ලබා දී හෝ බලෙන් කොන්දේසි දමා නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හොඳ හෝ නරක කෙසේ වෙතත්, අපගේම ආර්ථික කළමනාකරණයේ වරදින් එම සංවිධානයේ සහාය පැතීමට සිදුවෙන තත්ත්වයට අප රට පත්ව තිබිණි.

අයිඑම්එෆ් අනුමැතියෙන් පසු
ලොකුම අභියෝගය

ඩොලර් බිලියන තුනකින් ගොඩ යමු?

මේ පසුබිම තුළ අපගේම ඉල්ලීම පිළිගෙන ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපට ලබා දීමට එම අරමුදල ඉදිරිපත්ව විය. ඒ අනුව ඔවුන් අපට විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීම සඳහා අනුමැතිය ලබා දී එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් වූ පළමු ණය වාරිකය ද අපට ලබා දී අවසන්ය. එම මුදල්වලින් අප දැනටමත් වියදම් ද සිදුකර ඇත. එසේ නම් දැන් තිබෙන්නේ අයිඑම්එෆ් එකේ හොඳ නරක ගැන සංවාද කර කර සිටීමට නොව අපගේ මූල්‍ය පහසුකම සඳහා අයිඑම්එෆ් අනුමැතියෙන් පසු රටේ ඉදිරි ගමන ගැන සාකච්ජා කිරීමටය. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉදිරි වසර හතර ඉදිරියට ගමන් කිරීම ඉතාමත් දුෂ්කර සහ අභියෝගාත්මක මෙහෙයුමක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා දැන් තිබෙන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින්, මේ ගමන අමාරුවෙන් හෝ සාර්ථකව ඉදිරියට ගොස් දිගුකාලීන වශයෙන් ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඉන් පසු ආර්ථික වර්ධනයක් කරා, මේ සංකෝචනය වී ඇති ආර්ථිකය රැගෙන යෑමයි. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත. බොහෝ දුෂ්කරතා සහ පීඩාවන් විඳීමට සමාජයේ සියලු පාර්ශ්වයන්ට අඩු වැඩි වශයෙන් සිදුවනු ද ඇත. එසේ නැතුව අපට වෙනත් විකල්පයක් තිබේ ද? ආර්ථික අර්බුද ගැන මීට පෙර අප කොතෙකුත් කතා කර තිබුණත් වෙන කිසි කලෙකත් අපගේ ආර්ථිකය බංකොලොත් වූ බවක් අප කියා නැත. මෙවර අපගේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව අපගේ ආර්ථිකය බංකොලොත් විය. ආර්ථිකය ඝාතනය විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් නොව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට ද ගොඩ ගැනීමට ලැබුණේ මේ ඝාතනය වූ ආර්ථිකයයි. දැන් ඒ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ දුෂ්කර ගමනක් අප අරඹා තිබේ. එහෙත් ඒ සඳහා රජය කරන හැම දෙයක්ම නිවැරදි බව ද අපට කිව නොහැකිය. මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල ද හොඳ යැයි ද කිව නොහැකිය. රාජ්‍ය සහාය ගැනීමට සහ අයිඑම්එෆ් වැඩසටහනට ඇති ප්‍රතිවිරෝධතා අවම කර ගැනීමට නම් රජය ද තම වැරදි සහ අඩුපාඩු හදාගත යුතුය. රජයේ ද පටි තද කරගත යුතුය.

ඩොලර් බිලියන 3 ප්‍රමාණවත් ද?

අයිඑම්එෆ් ගිය පසුගිය 16 වතාවේම අපගේ ණය තිරසාරභාවය තිබුණු නිසා අපට අයිඑම්එෆ් සහාය ගැනීම එතරම් ගැටලුවක් නොවිණි. මෙවර එය බොහෝ දුෂ්කර හා කල්ගත වන ක්‍රියාවලියක් වූයේ අප රටේ ණය තිරසාරභාවය නොතිබුණු නිසාය. මේ නිසා අපගේ ණය හිමියන්ගෙන් ණය සහන සම්බන්ධයෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමටද අපට සිදු විය. ඒ පිළිබඳ සෑහීමට පත් වීමෙන් පසු අයිඑම්එෆ් එක අපට ලබාදෙන ණය පහසුකම සඳහා අනුමැතිය ලබා දුන්නේය. මෙය සතුටට කරුණක් වුවත් එහිදී කිව යුතු එක කරුණක් තිබේ. එනම් ඒ කඩඉම සාර්ථකව පසු කිරීමෙන් පසු වඩාත්ම අභියෝගාත්මක කාරණය වන්නේ ඉදිරි වසර හතරේ අයිඑම්එෆ් කොන්දේසි ඉටු කරමින් මේ වැඩසටහන සම්පූර්ණ කිරීම බවයි. ඒ සඳහා නොයෙකුත් ප්‍රතිවිරෝධතා රැසක් ජය ගැනීමට රජයට සිදුවනු ඇත. රජය ද අයිඑම්එෆ් කොන්දේසි එලෙසම භාර ගන්නේ නැතුව එම අසීරු සහ දුෂ්කර කොන්දේසි ගැන අයිඑම්එෆ් එක සමග සාකච්ජා කරමින් රටට ගැලපෙන පරිදි ඒ සඳහා යම් නම්‍යශීලීභාවයක් ඇති කර ගැනීමට උත්සාහ ගත යුතුය. උදාහරණයක් ලෙස බදු ප්‍රතිසංස්කරණවල දී රාජ්‍ය බදු ආදායම වැඩි කරගත යුතු බව අයිඑම්එෆ් එක කියා සිටියත් බදු ආදායම වැඩිකරගත හැකි විකල්ප ක්‍රම රාශියක් තිබේ. මේ නිසා වැඩියෙන් ආදායම් ලබන පිරිස් මත වැඩි බදු ප්‍රතිශත අනුක්‍රමිකව පනවමින් අයිඑම්එෆ් සමග එකඟ වී ඇති ඉලක්ක බදු ආදායම් උපයා ගැනීමට රජයට කටයුතු කළ හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා කර එහි එකඟතාව ද ගත හැකිය. කොයි ක්‍රමයට හෝ රාජ්‍ය බදු ආදායම වැඩි වෙනවා නම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් විය නොහැකිය. අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් ද මේ කාරණයම අපට සඳහන් කළ හැකිය. එහෙත් බිඳ වැටී ඇති රාජ්‍ය බදු ආදායම වැඩිකරගත යුතු බව අයිඑම්එෆ් එක කීවත් නැතත් අප කරගත යුතු දෙයකි. එසේම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ද අයිඑම්එෆ් එක කීවත් නැතත් අප කරගත යුතු දෙයකි. මෙහිදී ලාභ ලබන ආයතනත් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු ද ? ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුත්තේ පාඩු ලබන ආයතන පමණ ද ? ව්‍යාපාර කිරීම රජයේ කටයුත්තක් නොවේ ද ? එසේම රජයට ව්‍යාපාර කරන්නට බැරි ද ? මේ සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ විවාදයක් තිබේ. මේ දෙපැත්තටම කරුණු තිබේ. වෙනත් රටවල් ගතහොත් රාජ්‍ය අංශය සාර්ථකව ව්‍යාපාර කරන අවස්ථා ද තිබේ. එසේ නම් ප්‍රශ්නය තිබෙන්නේ එම ව්‍යාපාරවල රාජ්‍ය අයිතියේම නොව කළමනාකරණයේ අසාර්ථකත්වය මත බව ද පෙනේ. එහෙත් මේ හදිසියේ එම රාජ්‍ය ව්‍යාපාර සියල්ල වහාම කාර්යක්ෂම කළමනාකරණයකට පත් කිරීමට දුෂ්කර වන අතරම අපට මොන ක්‍රමයෙන් හෝ තවත් විදේශ මුදල් සොයා ගැනීමට ද සිදු වේ. අපට ඩොලර් බිලියන 50 කට අධික විදේශ ණය කන්දක් තිබේ. එසේ නම් අයිඑම්එෆ් එකෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3 න් අපගේ විනිමය සහ ණය අර්බුදය විසඳාගත හැකි ද ? කිසිසේත්ම නොහැකිය. අප ගත් විදේශ ණය ගෙවීමට අමතරව අපට අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමට ද විදේශ මුදල් අවශ්‍ය වේ. අනිත් අතට අපට අයිඑම්එෆ් එකෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදල් ලැබෙන්නේ ද එකවර නොව කොටස් වශයෙනි. එසේ නම් මේ විනිමය අර්බුදයෙන් අපට ගොඩ යෑමට නම් තවත් විදේශ මුදල් සොයා
ගැනීමට සිදු වේ.

නිවසක් ගත්තත් අපට ලබන සතියේ ණය මුදලක් ගෙවීමට තිබෙනවා නම් සහ අපට එම ණය මුදල් ගෙවීමට මුදල් නොමැතිව බංකොලොත් වී සිටී නම් වෙන කිසිවෙක් අලුතින් අපට ණය දෙන්නේත් නැත්නම් කිරීමට තිබෙන්නේ කුමක් ද ? ඒ සඳහා ඇතැම් විට අකැමැත්තෙන් වුවත් ගෙදර තිබෙන කවිච්චිය (අප සතුව ඇති යම් වත්කමක්) විකිණීමට සිදු විය හැකිය. සැමියා එය විකිණීමට යන විට බිරිඳ ‘අනේ ඕක නම් විකුණන්න එපා’ යැයි විරුද්ධ විය හැකිය. එහෙත් ලබන සතියේ අර කී ණය මුදල අනිවාර්යෙන්ම ගෙවිය යුතු නම් ඇතැම් විට අකැමැත්තෙන් හෝ ගෙදර තිබෙන කවිච්චිය විකිණීමට සිදු විය හැකිය. එහෙත් වෙනදාට වඩා වැඩියෙන් මහන්සි වී අතිරේක ආදායම් මාර්ග උපදවාගෙන ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට ඔවුන් සමත් වුවහොත් පසුව කවිච්චියට වැඩි දේවල් වුවත් අලුතින් ඔවුන්ට මිලදී ගැනීමට ද බැරිකමක් නැත.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට සැලසුම්

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට දේශපාලනයෙන් තොර දේශීය සමාගමක් පිහිටුවීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ සිදු කරනු ලබන්නේ කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොර දේශීය සමාගමක් මගින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සමාගම් පනතට අනුව විධිමත්ව පරිපාලන කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ප්‍රතිව්‍යුහගත කළ යුතු රජයේ ව්‍යාපාර අදාළ සමාගම යටතට පත් කෙරේ. එම සමාගම මැලේසියානු සහ සිංගප්පූරු සමාගම්වල මොඩලයට සමාන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් අතර ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව පාඩු ලබමින් පවතින ආයතන පෞද්ගලිකකරණය කිරීමත්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරීත්වය යටතට පත් කිරීමටත් යෝජනා වී තිබේ. මේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නියාමනය කෙරෙන අතර ඒ සඳහා එක් එක් අංශයට අදාළව වෙන වෙනම නියාමන ආයතන පිහිටුවනු ලබන බව ද රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි. ඒ මහතා රාජ්‍ය ව්‍යාපාර 450ක් පසුගිය දස වසර තුළ ලබා ඇති සමස්ත පාඩු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මෙසේය.

2012 වසරේ දී රුපියල් බිලියන 183ක්, 2013 දී බිලියන 186ක්, 2014 වසරේ දී බිලියන 186ක් වශයෙන් රජය පාඩු ලබා තිබේ. 2015 වසරේ දී අදාළ ආයතනවල පාඩුව රුපියල් බිලියන 271කි. 2016 දී බිලියන 180ත්, 2017 දී බිලියන 260ක්, 2018 දී බිලියන 265ක්, 2019 දී බිලියන 268ක් වශයෙන් අදාළ ආයතන අලාභ ලබා ඇත. 2020 වසරේ දී බිලියන 436ක අලාභයක් පෙන්වා ඇති එම ආයතන පිළිවෙළින් 2021 සහ 2022 වසරවල ලබා ඇති අලාභයන් රුපියල් බිලියන 337ක් සහ 322ක් ලෙස සටහන් වී ඇත.

රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සාමූහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම ද ඉකුත් අප්‍රේල් 04 වැනිදා මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මෙහි ආරම්භක පියවරක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කර තිබේ. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟ වූ කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයුම්, මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකි. රාජ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සභාපතිවරයා, සුපරීක්ෂක ආයතනය නියෝජනය කරමින් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, මහජන අභිලාශ සුරක්ෂිත කිරීම හා රාජ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය නියෝජනය කරමින් මහාභාණ්ඩාගාර ලේකම්වරයාත් එදින මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් කරනු ලැබිණි. මෙහිදී කතා කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය තුළ තව දුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම ගැටලු සහගත බවයි. අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වැය කරන මුදලට සමාන මුදලක් පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් රජයට වැය කිරීමට සිදුව ඇති බවත් එය තව දුරටත් භාණ්ඩාගාරයට සිදු කළ හැකි කටයුත්තක් නොවන බව ඔහු කියා සිටියේ ය. සමස්තයක් ලෙස මේ ආයතන ලබා ඇති පාඩුව මෙසේ සඳහන් කළත් මේවා අතර ලාභ ලබන ආයතන ද තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ලාභ පාඩු ගැලපූ විට සමස්තයක් ලෙස මේ ආයතන සමූහය අලාභ තත්ත්වයක් වාර්තා කිරීමයි.

මේ අනුව රජයේම අදහස් අනුව අපට පැහැදිලි වන්නේ පාඩු ලබන ආයතන පමණක් නොව ලාභ ලබන ආයතන පවා ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවයි. ප්‍රතිව්‍යුහගතකරණය යනු පෞද්ගලීකරණය කිරීමම (මුළුමනින්ම විකුණා දැමීමම) නොවේ. මෙහිදී ඇතැම් පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කරනවා ද විය හැකිය. ඇතැම් ඒවා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යනවා ද විය හැකිය. ඇතැම් ආයතන පාඩු ලැබුවත් මහජන සේවයක් ලෙස පවත්වාගෙන යෑම හොඳ යැයි ඔබට සිතීමට ද බැරි නැත. ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් අනිත් අතට වෙනත් රටවල විශේෂයෙන්ම දුම්රිය සහ බස්රථ ප්‍රවාහන පද්ධතියේ දියුණුව දෙස බලන විට මේ ප්‍රවාහන අංශය අපේ රටේ රාජ්‍ය අයිතිය යටතේ නොතිබුණා නම් මීට වඩා බොහෝ දියුණු සහ මහජන සේවාවක් සලසන අංශයක් බවට පත් වීමට ඉඩ තිබුණු බව ද අපට පිළිගත හැකිය. මේ අර්ථයෙන් ප්‍රවාහන වැනි සේවාවන් තවදුරටත් මෙලෙසම එක තැන පල් වෙමින් මහජනයා තව තවත් දුකට පත් කරනවාට වඩා ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් වීම සුදුසුය. මේ පසුබිම තුළ අයිඑම්එෆ් කොන්දේසි ලෙස ආවත් නැතත් අප රටේ සිදුවිය යුතු සුදුසු වෙනස්කම් තිබේ. ඒවා විනිවිදභාවයෙන් යුතුව සහ වංචා දූෂණවලින් තොරව සිදුවිය යුතු බව අපගේ අදහසයි. මේ අනුව අවසාන වශයෙන් අපට කිව හැක්කේ අයිඑම්එෆ් අනුමැතියෙන් පසු එම වැඩසටහන සපුරාලීමේ වඩාත්ම අභියෝගාත්මක වසර හතරට අප දැන් අවතීර්ණය වී ඇති බවයි.

විනිවිදභාවය ඕනෑ – ලෝක බැංකුව කියයි

අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වේ. එසේම මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී වැඩි වශයෙන්ම පීඩාවට පත් වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනයා බව ද අපි දනිමු. එසේ නම් සමාජ ආරක්ෂණය සැලසීමේ දී සැබෑ ලෙසම සහන අවශ්‍ය අයට සහන ලැබෙන බවට තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙයට අදාළ කරුණක් ලෝක බැංකුව ද සඳහන් කර ඇත. මේ අනුව අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියලු කාරණා සාර්ථක වීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් පවසා ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර වාරයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මාර්ටින් රේසර් මහතා අතර හමුවක් සිදුව ඇත. මෙම හමුවේදී පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳවද සාකච්ඡා කළ බව ලෝක බැංකු උප සභාපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන්ව තිබිණි. ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බවත් මෙරට යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහය ලබාදෙන බවත් මාර්ටින් රේසර් එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

ජවිපෙ නායකයාගේ අදහස්

රාජ්‍ය ආයතන විකිණීම පිළිබඳව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක විශේෂ අනාවරණයක් සිදු කර තිබිණි. ඒ මහතා ඒ සම්බන්ධයෙන් කියා සිටියේ පසුගිය අවුරුදු 30 ඇතුළත රාජ්‍ය ආයතන 88ක් විකුණා ඇති බවකි. එසේම 2015 අවුරුදු 4ට රනිල්, ඩොලර් බිලියන 12.5ක ණය ගත් බවත් ඒ නිසා රට හැදුණද යනුවෙන් ඔහු ප්‍රශ්න කර තිබිණි. දැන් අයිඑම්එෆ් එකෙන් අවුරුදු 4ටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9යි. රට හැදෙයිද යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. ඇත්තවශයෙන්ම ජවිපෙ නායකයා කියන පරිදිම අයිඑම්එෆ් එකෙන් ණය ගත් පමණින් රටවත්, ආර්ථිකයවත් හැදෙන්නේ නැත. එය සත්‍යයකි. ආර්ථිකය ගොඩ දාගත යුතු වන්නේ අප විසින්මය. ඇත්ත කතාව එයයි. එහෙත් ඒ නිසා අප අයිඑම්එෆ් සහාය නොගත යුතු බවක් ඉන් අදහස් නොවේ. අයිඑම්එෆ් සහාය ගන්නේ ආර්ථිකය ගොඩ දා ගැනීමට නොව ප්‍රධාන වශයෙන් අපගේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමටය. එය අපට රුපියල් අච්චු ගසා තනිවම විසඳාගත නොහැකිය.

ණය ප්‍රතිව්‍යුහගත යෝජනා

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණයහිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති බවට වාර්තා වේ. ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් පමණ වේ. අමෙරිකාවේ වොෂිංටන් හී පැවැත්වෙන ස්ප්‍රින් සමුළුවට සමගාමීව ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට මාධ්‍ය මගින් වාර්තා විය. එහෙත් මෙම යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමක් සිදුනොවන අතර මේ සඳහා ණයහිමියන් 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි. එම කණ්ඩායම සඳහා ගෝලීය ආයෝජන සමාගම් ද ඇතුළත් වන බව සඳහන්ය. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බැඳුම්කර හිමියන් සහ රජයේ නිලධාරීන් වොෂින්ටනයේදී හමුවී ඇති අතර දෙපාර්ශ්වයේම නීති සහ මූල්‍ය උපදේශකයන් පැමිණ සිටි බවද දැනගන්නට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment