ඩොලර් මිලියන 500 ක් ගෙව්වේ කාටද? – උසාවිය මහබැංකුවෙන් වාර්තාවක් ඉල්ලයි –  තුන්වරක් සිතාසි නිකුත් කළත් කබ්රාල් උසාවි ඇවිත් නෑ

2262

කබ්රාල්ගේ රට ගමන් තහනම දික්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි 18 වැනිදා ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කරයන්ට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවනු ලැබුවේ කුමන පුද්ගලයන්ට හා පාර්ශ්වවලට දැයි සවිස්තර වාර්තාවක් ලබන ජුලි 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (23 දා)  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට හා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝග කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගත වීම වළක්වමින් නිකුත් කර තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය එදින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මින් පෙර අවස්ථා තුනකදී අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇතත් ඔහු ඊයේ දිනයේ හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තම අධිකරණය විසින් පසුගිය 5 වැනිදා නිකුත් කරන ලද සිතාසි නියෝගය ක්‍රියාත්මක කරනා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

නීතිඥ ඉෆ්පත් සහබ්දීන්, ඉරේෂ් සෙනවිරත්න හා නීතිඥ අෂාන් නානායක්කාර යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment