ඩොලර් මිලියන 79 ක් ඉතිරි කරගන්න ටින්මාළු ගෙන්වීම තහනම් කරන්න

276

ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුවට ටින්මාළු ද ඇතුළත් කරන්නැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මෙරට ටින්මාළු අවශ්‍යතාවෙන් සියයට අසූපහක් දේශීය ටින්මාළු නිෂ්පාදකයන් විසින් සපයන බවත්, ආනයනික ටින්මාළු තහනම් කළහොත් ඇමරිකන් ඩොලර් මිලියන 79කට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකි බවත් ඊයේ (06 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

දිගින් දිගටම රටට ටින්මාළු ගෙන ඒමට කටයුතු කළහොත් මෙරට ටින්මාළු නිෂ්පාදනය නවතා දමා ටින්මාළු නිෂ්පාදකයන් ද ටින්මාළු ආනයනය කිරීමට පෙලඹුණහොත් මෙරට ධීවර ජනතාව ලක්‍ෂ 06 ක් සහ ඔවුන්ගෙන් යැපෙන ලක්‍ෂ 15 ක් වෙනුවෙන් රජය පියවරක් ගත යුතු බව ද ඒ මහතා කීය.

ටින්මාළු නිෂ්පාදකයන් විසින් ලින්නා මාළු කිලෝවක් රුපියල් 700 ක් වැනි මිලකට ලබා ගන්නා බවත් එම මාළු පැය 24 ක් යෑමට පෙර ටින්මාළු බවට පත් කිරීමට කටයුතු කරන බවත් පැවසූ ප්‍රනාන්දු මහතා, පාරිභෝගිකයන්ට එසේ ගුණාත්මක ටින්මාළු ලබා දීමට කටයුතු කරමින් සිටියදී ඇතැම් පාර්ශ්වවලට වෙනත් වාසි තකා ටින්මාළු අසීමිත ලෙස මෙරටට ගෙන්වීමට ඉඩ දී ඇති බව පෙනී යන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment