ඩොලර් මිලියන 800ක් ලංකාවට ගේන ‘‘ටුවරිස්ට් ඇප්’’ එක මෙන්න

210

තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකය කෙතරම් කුඩා වීද යත් ලොව ඕනෑම තැනක මේ මොහොතේ සිදුවන දෙයක් ක්ෂණයෙන් ලොවම දැනගනියි. මිනිස් ශ‍්‍රමය වැය කර දින ගණනාවක් තිස්සේ කළ සමහර කාර්යයන් පැය කිහිපයක් තුළ අවසන් වේ. මිනිස් බුද්ධිය තුළින් ගොඩනැඟුනු තාක්ෂණය මිනිසා අභිබවා ඉදිරියට යමින් තිබෙන වර්තමානයේ දී තාක්ෂණය හරහා රැකියා උත්පාදනය කිරීමේ හා ආදායම් ඉපයීමේ ක‍්‍රමෝපායන් සැකසීම කෙරෙහි සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළින් වැඩි අවධානයක් යොමුව තිබේ.ගොවිතැන සිට සෑම ක්ෂේත‍්‍රයකටම තාක්ෂණික සහාය ලබාදීම මඟින් ඒ සෑම ක්ෂේත‍්‍රයක්ම ගුණාත්මක, සෞඛ්‍යාරක්ෂිත හා වැඩි ආදායම් උපයන තත්ත්වයට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප‍්‍රමුඛ අරමුණක් විය.

සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ හෝටල් වෙන්කිරීම, ප‍්‍රවාහන පහසුකම් සැලසීම, මාර්ගෝපදේශකයන් අභ්‍යන්තර ගුවන්ගමන් වෙන්කිරීම් සහ සංචාරක ආකර්ශනීය ස්ථානවලට ඇතුළුවිය හැකි ආකාරයට මධ්‍යම මෘදුකාංග පද්ධතියක් (Single boking software) සකසන බව ද සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මගින් අවධාරණය කළේය.

අනපේක්ෂිත අයුරින් ලෝකය මුහුණ දුන් කොවිඞ් වසංගතය නොවන්නට මේ වන විටත් සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළේ වූ යෝජනා මේ වන විටත් අවසන්ය. කෙසේ වෙතත් වසංගත තත්ත්වය හමුවේ වුවද රටේ අනාගත සුබසිද්ධිය තහවුරු කරන යෝජනා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට රජය කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය හරහා සංචාරක ස්ථානවල තොරතුරු දැනගැනීමට අදාළ විශේෂාංග සහිත නිල ජංගම යෙදවුමක් ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වන්නේ එහි ප‍්‍රතිපලයක් ලෙසයි. 2022 වසර අවසාන වීමට පෙර හඳුන්වාදීමට පිඹුරුපත් සැකසෙන මෙම සංචාරක ජංගම යෙදවුම මගින් සංචාරක ව්‍යාපාරය තව දුරටත් සැලසුම් සහගත ක‍්‍රියාවලියක් බවට පත් කෙරෙයි.

නව ජංගම යෙදුම සඳහා සංචාරක ස්ථාන, හෝටල් ආපන ශාලා, සංචාරක තොරතුරු, ගූගල් සිතියම්, ශ්‍රේණිගත කරන ලද සංචාරක මාර්ගෝපදේශකයන්, හෝටල්, සංචාරක ව්‍යාපාරයට අදාළ රජයේ රේඛීය ආයතනවලින් මාර්ගගත ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම පහසුකම, පැමිණිලි කළමනාකරණය, ළඟම ඇති සංචාරක පොලිස් ස්ථාන හා සම්බන්ධ කරන ලද හදිසි ඇමතුම් සේවා ආදිය මෙන්ම ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූලව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා කලින් සේවා වෙන්කරවා ගැනීමේ මාර්ගගත පිවිසුමක් ද ඇතුළත් කිරීමට නියමිතව ඇත. දේශීය විදේශීය සංචාරකයන්ට සිය ජංගම දුරකථන යෙදවුම මගින් අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව මෙරට පවතින මිල ගණන්වලටම හෝටල් හා නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. මෙකී ජංගම යෙදුම හඳුන්වාදීමත් සමග මෙරට සංචාරක ව්‍යාපාරයට අදාළ සියලූ ස්ථානවල ප‍්‍රවේශ පත‍්‍ර ඒ හරහා වෙන් කරවා ගැනීමට හැකියාව ලැබේ. මේ ආකාරයට මාර්ගගත ක‍්‍රමවේදය හරහා ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීම කෙරෙහි ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමුව පවතියි. එන්න ගෝලීය ප‍්‍රවණතාවයට අනුගත වීම හරහා මෙරට සංචාරක ව්‍යාපාරයට වැඩි අවධානයක් දිනා ගැනීමට හැකිය. මේ නිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, දුම්රිය දෙපාර්තමේන්තුව ආදී රජයේ අනෙකුත් ආයතනවලට අදාළ ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමට ද මෙම යෙදුම හරහා අවස්ථාව හිමිවේ.

ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ඒ මොහොතේම අදාළ ආයතනයේ මුදල් ගිණුමට එක්වීම දේශීය හා විදේශීය සංචාරකයන්ට සිය ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ගැනීමට පහසුකම සැපයීම මගින් අදාළ රජයේ ආයතනවලට ලැබෙන විශේෂ වරප‍්‍රසාදයකි. අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණදීමට නොදෙන ආකාරයට ක‍්‍රමානුකූලව සිය සංචාරය සැලසුම් කර ගැනීමට ද මේ හරහා සංචාරකයන්ට අවස්ථාව උදාවෙයි. සංචාරක කර්මාන්තය ආර්ථිකය කෙරෙහි සෘජුවම බලපායි. මෙරටට පැමිණෙන විදේශිකයකු කිසියම් අපහසුතාවයකට මුහුණ දුන්නේ නම් එමගින් රටේ කීර්තිනාමයට සිදුවන්නේ සුළු පටු හානියක් නොවේ. මීට කලකට ඉහතදී එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වූ අතර එම සිදුවීම් අදටත් අන්තර්ජාලයේ දක්නට තිබේ. එම නිසා මෙම ජංගම යෙදුම මගින් සංචාරකයන්ට වඩා ක‍්‍රමවත්, විශ්වාසදායී සේවාවක් සැපයීමේ හැකියාව ලැබීමද රටක් වශයෙන් අප ලබන ජයග‍්‍රහණයකි. විදේශ මුදල් හරහා පහසුකම් සැපයීම මෙම යෙදවුමේ තවත් විශේෂත්වයකි. පාස්කු ප‍්‍රහාරය හා කොවිඞ් ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු බව නොරහසකි. ආර්ථික ඉපයීමකින් තොරව වියදම් වැඩිවීම පමණක් කෙරුණ ඉකුත් දෙවසර රට දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ පා සිටියි. විදේශ මුදල් හරහා ගනුදෙනු කිරීමේ පහසුකම සහිත මෙම ජංගම යෙදුම එකී ඩොලර් අර්බුදයට ද විස`දුම් ගෙනෙන නව ක‍්‍රමෝපායක් වීම තවත් ජයග‍්‍රහණයකි.

මේ ආකාරයේ ජංගම යෙදවුම් මේ වනවිටත් මෙරට ක‍්‍රියාත්මක වෙයි. නමුත් එකී සෑම ජංගම යෙදවුමක්ම විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යෑම ශෝචනීයම තත්ත්වයකි. මෙතෙක් දේශීය සමාගමක් මෙවැනි සේවාවක් සැපයීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් රටට අහිමිව ඇත. මෙතෙක් රටට අහිමි වූ මෙම ඩොලර් මිලියන 800ක ආදායම එලැඹෙන නව වසරේ සිට මෙරට ආදායමක් බවට පත් කෙරෙන මෙම නව ජංගම උපකරණ යෙදවුම සැලසුම් කිරීම ක‍්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් අරමුදල් සපයයි. තාක්ෂණ අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහාය ඇතිව මෙම ජංගම යෙදුම ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් ඉපයිය හැකි මෙවැනි ක්ෂේත‍්‍ර කෙරෙහි දේශීය ආයතනවල අවදානය යොමුකරවා ගැනීමට රජයක් ලෙස අවදානය යොමුකිරීම සැබැවින්ම ප‍්‍රසංසනාත්මකය.

ප‍්‍රදීප් අනුර කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment