ඩොලර් සංචිතය රකින අලුත්ම ක්‍රමය මෙන්න…විදේශ ණය අඩු කර ගනිමු ආර්ථික ස්ථායිතාව ඇති කර ගනිමු

823

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

රට මුහුණ දී සිටින්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම අමාරු කාලයකටය. රටේ ඩොලර් හිඟයක් මෙන්ම රජයට මුදල් හිඟයක් ද තිබේ. එනම් කොවිඞ් වසංගතය හමුවේ රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මෙන්ම රාජ්‍ය මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටින බවයි. මේ ඩොලර් අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වුවහොත් එමගින් රට විශාල විපතකට ඇදවැටෙන අතරම එය ආණ්ඩුවේ පැවැත්මට ද ඉතා අහිතකර ලෙස බලපාන කරුණක් වන බවට කිසිම සැකයක් නැත. එය ජනාධිපතිවරයා ද තේරුම් කරගෙන සිටින බව පෙනේ. එය මහ බැංකුවේ මෑත දී සිදු වූ වෙනසින් ද අපට පැහැදිලි වන්නකි. එනම් පසුගිය සතියේ දී සිදු වූ ප‍්‍රධාන කරුණක් වූයේ අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවත වැඩ භාර ගැනීමයි. හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා මහ බැංකු අධිපති ධුරයේ විශ‍්‍රාම ගැනීම සහ අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පසුගිය සැප්තැම්බර් 15 වැනිදා කොළඹ මහ බැංකු මූලස්ථානයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීම ද සිදුව තිබේ. මෙම සිදුවීම ආර්ථික හා මූල්‍ය අංශවල පමණක් නොව රටේ සාමාන්‍ය ජනයා අතර ද කතාබහට ලක්වන කරුණක්ව තිබේ. මෙවැනි වෙනසක් හදිසියේම සිදු වූයේ ඇයි ? මේ අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ කොවිඞ් වසංගතය හමුවේ ආර්ථික වශයෙන් පෙර නොවූ විරූ තරම් ඉතාම දුෂ්කර කාලයකටය. ඒ නිසාම මේ අර්බුදය විසඳා ගැනීමේදී මහ බැංකුවට ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ අවශ්‍ය වූවා විය හැකිය.

පසුගිය සැප්තැම්බර 15 වැනිදා මහ බැංකුවේ අධිපති ලෙස වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා කීවේ ආර්ථිකය අඛණ්ඩව ස්ථායිතාව කරා යොමු කරන බවට තමා සහතික වන බවයි. එසේම ඔහු එහිදී මෙසේ ද කීවේය.

‘මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.

ආර්ථික ස්ථායිතා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම වර්තමානය වැනි කැළඹිලි සහිත කාලපරිච්ෙඡ්ද වලදී ආර්ථිකයේ සියලූම පාර්ශවකරුවන්ට මහ බැංකුව පැහැදිලි සහ ස්ථිරසාර මගපෙන්වීමක් ලබාදිය යුතු වෙනවා. එබැවින් ශ‍්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් ලබාදීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායිතාව සහතික කිරීම මගේ අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප‍්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇත.’

ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් මෙවැනි පණිවිඩයක් රටට ලබාදීම මේ මොහොතේ ඉතා වැදගත් බවට කිසිම සැකයක් නැත. මේ සමගම මහ බැංකුවේ ඉතිහාසය ගැනත් කෙටියෙන් හෝ සිහිපත් කර ගැනීම වැදගත්ය. 1949 නොවැම්බර් 25 වැනි දින ලංකාණ්ඩුව විසින් සම්මත කළ මුදල් නීති පනත සමඟ එතෙක් පැවති ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය අහෝසි වූ අතර ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා පියවර ගැනුණි. මේ අනුව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදී. එහි මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වැනි දින ආරම්භ කරනු ලැබීය. පසුව ශ‍්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත එය නම් කළේය. එදා මහ බැංකුවට දේශීය මුදලේ අගය ස්ථාවර කිරීමේ (මිල ස්ථායීතාව පවත්වාගෙන යෑමේ ) සහ රටෙහි සමස්ත මුදල්, බැංකු කටයුතු හා ණය ක‍්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරීමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පැවරුණි. එමෙන් ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පැවරුණ අතර රටේ ජාත්‍යන්තර සංචිතවල භාරකාරත්වය ද එයට පැවරුණි. 1949 මුදල් නීති පනතේ සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වූයේ, ශ‍්‍රී ලංකා රුපියලේ මුහුණත අගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාව ආරක්ෂා කිරීම (විනිමය අනුපාතිකයේ ස්ථායිතාව පවත්වා ගෙන යෑම), ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑම සහ ප‍්‍රවර්ධනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ ඵලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම හා ප‍්‍රවර්ධනය කිරීම යන ඒවාය. එහෙත් මහ බැංකු කටයුතුවල ඇති වන ගෝලීය ප‍්‍රවණතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ශීඝ‍්‍ර වෙනස්කම්වලට අනුකූලව ආර්ථික ලිහිල්කරණය සහ තොරතුරු තාක්ෂණයේ ප‍්‍රගතිය සැලකිල්ලට ගනිමින් 2000 වසරේදී මහ බැංකුව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මහ බැංකු අරමුණු පහත සඳහන් ප‍්‍රධාන අරමුණු දෙකට සීමා විය.

 * ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම

 * මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙන යෑම

නව මහ බැංකු අධිපති කබ්රාල් මහතා සඳහන් කළ ආර්ථික ස්ථායිතාව යනු මහ බැංකුවේ අරමුණුවලට අනුව ආර්ථික සහ මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව ඇති කර ගැනීම විය යුතුය. අද ආර්ථික වාතාවරණය ගැන ජනයා තුළ පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයකි. දැනටම බදු මිල ගණන් ඉහළ ගොස් තිබේ. හෙට දවසේ තවත් බඩු මිල වැඩි වෙයි ද ? ඩොලරය තවත් ඉහළ යයි ද? කරන රැකියාව නැති වෙයි ද ? කරන ව්‍යාපාර කටයුතු අඩාල වෙයි ද ? රජයට ණය ගෙවා ගන්න බැරිව රට බංකොලොත් වෙයි ද ? මෙවැනි අවිනිශ්චිතතා මහජනයා තුළ තිබේ. ඒ නිසා මූලිකම කරුණක් වන්නේ මේ මොහොතේ මහජනයා තුළ ආර්ථික වාතාවරණය ගැන විශ්වාසය ජනිත කිරීමයි. ඒ සඳහා රජයෙන් මෙන්ම මහ බැංකුවෙන් ද ක‍්‍රියාමාර්ග ගත යුතු වුවත් ඒ සඳහා ප‍්‍රමාණවත් පියවරක් පසුගිය කාලයේ ගත් බවක් නොපෙනුණි. මේ පසුබිම තුළ කබ්රාල් මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගනිමින් සඳහන් කළ කරුණක් ඉතා වැදගත්ය. එනම් ඔහු කීවේ සියලූම පාර්ශවකරුවන්ට අනුගමනය කළ හැකි වන පරිදි කෙටිකාලීන පෙර දැක්මක ස්වරූපයේ ප‍්‍රතිපත්ති මාලාවක් ඔක්තෝබර් පළවෙනිදා (01) වන විට ප‍්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මහ බැංකුව සෑම වසරකම මුලදී ඉදිරි මාර්ග සිතියම ( රෝඞ් මැප් ) රටට ඉදිරිපත් කරනු ලබයි. මෙය ද එවැනි කෙටිකාලීන මාර්ග සිතියමක් වනු ඇත. එහි සඳහන් දේ කවරක් නමුත් එවැනි වැඩපිළිවෙළක් සහ ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඊට අනුගතව කටයුතු කරමින් ආර්ථිකයේ සියලූ පාර්ශවකරුවන් සහ මහජනයා තුළ මේ මොහොතේ අනාගතය ගැන නව අපේක්ෂාවක් සහ විශ්වාසය ජනිත කිරීමක් ඇති කිරීම ඉතා වැදගත්ය. අප සිතන්නේ කබ්රාල් මහතාගේ නායකත්වයෙන් දැන් මහ බැංකුව ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

විදේශ ණය අඩුකර ගැනීමට ප‍්‍රමුඛත්වය ලබා දෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති වශයෙන් වැඩ භාර ගනිමින් අජිත් නිවාඞ් කබ්රාල් මහතා කීවේය. අපට 2025 වර්ෂය දක්වා කාලයේ දී වර්ෂයකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ අතිවිශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට තිබේ. ඒ සමගම මීට සමාන මුදලක් සංචාරක ආදායමින් අහිමි වී ගොස් තිබේ. එසේ නම් මේ පරතරය පියව ගන්නේ කෙසේද? කොරෝනා වසංගත තත්ත්වය සමනය වී ආර්ථික හා සංචාරක කටයුතු ආරම්භ වුවත් අපට වහාම විශාල සංචාරක පැමිණීමක් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා කිසියම් කලක් ගත වනු ඇත. එහෙත් විදෙස් ණය නියමිත දිනයට ගෙවිය යුතුය. ඒ නිසා අපට අනිවාර්යෙන්ම අතිරේක විනිමය ලැබීම් අවශ්‍යමය. වෙනත් රටවල් වලින් ලබාගන්නා කෙටිකාලීන විනිමය හුවමාරු පහසුකම් යම් සහනයක් වූවත් අපේ ප‍්‍රශ්නයේ බැ?රුම්කම අනුව ඒවා ප‍්‍රමාණවත් වන්නේ ද නැත. ණය නොවන මුදල් රටට ගලා එන වාතාවරණයක් ඇතිකර සංචිත ශක්තිමත් කිරීම, දළ දේශීය නිෂ්පාදිතය වැඩිකර ගැනීම හා රුපියලේ අගය පවත්වා ගෙන යෑම සෙසු ප‍්‍රමුඛ කර්තව්‍යයන් ලෙස ද මහ බැංකු අධිපතිවරයා සිය කතාවේ දී කීවේය. ඔහු මෙසේ ද කීවේය.

‘අද වෙන කොට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් තියෙන්නේ බිලියන 80 ගණනක. අවුරුදු 6-7 ක් ගත වුණාට පස්සේ තාමත් එම තත්ත්වයමයි තියෙන්නේ. ඒකපුද්ගල ආදායම අඩුවෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් 3,600 කට පමණ. ණය බරතාවය එවකට ටි‍්‍රලියන 7 සිට ටි‍්‍රලියන 16 දක්වා වැඩිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරම අපිට තියෙනවා බිලියන 13 ක් දැන්. 2019 දී බිලියන 15 ක් තිබුණා. දැන් ණය ගෙවලා බිලියන 13 ක් තිබෙනවා. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් විදියට 16% ක් වෙනවා. ශ්‍රේණිගත කිරීමෙන් අපි පහළ බැහැලා තියෙනවා. උද්ධමන අපේක්ෂාව වැඩිවෙලා තියෙනවා. සෘජු විදේශ ආයෝජන අඩුවෙලා තියෙනවා. විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණ තිබෙනවා. ඊට අමතරව තවත් බිලියන එකහමාරක පමණ ස්වැප් එකකුත් අපිට තියෙනවා චීන සංවර්ධන බැංකුවෙන්. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම ලොක්ඩවුන් එක හරහා කොවිඞ් වසංගතය නිසා අද විරැකියාව වැඩිවෙලා තිබෙනවා. දිළිඳුකමත් වැඩිවෙලා තිබෙනවා. අපිට විදේශ ණය අඩු කර ගන්නට අවශ්‍යයි. මම මෙතනට ආවට පස්සේ අපේ ප‍්‍රමුඛත්වයක් දෙන්නට යනවා විදේශ ණය ක‍්‍රමක‍්‍රමයෙන් අඩුකර ගැනීමට. ඒත් එක්කම ණය නොවන මුදල් රටට ගලා එන්නට අපි වාතාවරණය සකස් කරන්නට අවශ්‍යයි. ඒ මඟින් විදේශ සංචිත වැඩිකර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.’

මේ අනුව ආර්ථිකයේ සෑම අංශයක්ම පාහේ අඩු වැඩි වශයෙන් නරක අතට හැරී ඇත. ඇතැම් ප‍්‍රශ්න කොරෝනාවටත් පෙර සිටම තිබුණු ඒවාය. විදේශ විනිමය ප‍්‍රශ්නය කලක සිට දිගටම තිබුණි. රාජ්‍ය මූල්‍ය අර්බුදය ද එසේමය. කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ ප‍්‍රශ්න උග‍්‍ර වී තිබේ. නිසි ආර්ථික කළමනාකරණයක් නැතහොත් වනු ඇත්තේ අප තවත් අමාරු තත්ත්වයට ඇද වැටීමටය. මේ නිසා කබ්රාල් මහතාගේ නායකත්වයෙන් රජය සමග එකතු වී මේ ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා ක‍්‍රියාමාර්ග දෙස අපි බලා සිටිමු. එසේම කබ්රාල් මහතා කියන අලූත් ණය නොවන විදේශ විනිමය ඉපයුම් මාර්ග මොනවාද? නුදුරු දිනෙක එළිදක්වන මහ බැංකුවේ කෙටිකාලීන මාර්ග සිතියම මගින් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබී ජනයා තුළ අනාගතය ගැන විශ්වාසයක් ඇති වනු ඇති බව අපි අපේක්ෂා කරමු. මෙහිදී විවිධ පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ද සැලකීම ඉතා වැදගත්ය. මහ බැංකුවට සහ රජයට නොපෙනෙන සාර්ථක විසදුම් ක‍්‍රියාමාර්ග තවත් තිබෙන්නට පුළුවන. හැමෝම කියන විදියට කටයුතු කිරීම අපහසු විය හැකි නමුත් ඒවාටත් සවන් දී වැදගත් යෝජනා ඇත්නම් ඒවා ගැන ද සැලකීම වැදගත්ය. මේ අභියෝග ජය ගැනීමට නව මහ බැංකු අධිපතිවරයාට සුභාශීර්වාද කරමින් මෙහිදී අනිත් පාර්ශ්වකරුවන් හමුවන අතරම ආර්ථික හා මූල්‍ය කටයුතු වාර්තා කරන සහ ඒවා නිරන්තරයෙන් විශ්ලේෂණය කරන මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක් පවත්වන ලෙස ද අපි ඔහුට යෝජනා කරමු. කබ්රාල් මහතා ගැන නොයෙක් දෙනා නොයෙකුත් විවේචන කරමින් තිබේ. එහෙත් මේ අවස්ථාවේ ඔහු මේ තනතුර භාරගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුවය. ඒ ඔහු දක්ෂ සහ කාර්යශූර නිලධාරියෙක් බවට තිබෙන විශ්වාසය නිසා විය හැකිය. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ මේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඔහුගේ නායකත්වයෙන් මහ බැංකුව ගන්නා

ක‍්‍රියාමාර්ගයන්ය. ඒවායේ හොඳ නරක අපට තවදුරටත් ඉදිරියේදී සාකච්ජා කළ හැකිය. ලබන ඔක්තෝබර් 1 වැනිදා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් එළිදක්වන ‘කෙටි කාලීන ප‍්‍රතිපත්ති පෙරදැක්මට සියලූ සර්ව ආර්ථික දර්ශකවල ඉදිරි දිශානතිය පිළිබඳ ඉලක්ක සමගම ඩොලර් සංචිත නංවන ඉලක්කයන් ද ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment