ඩොලර්  සොයා ගිය  පස්දරු මවගේ අලුත් දීගය  පොලිසියෙන් කෙළවර වෙයි

1145

රට සල්ලි උපයන්න විදෙස්ගතවී ලංකාවට පැමිණ තරුණයකු හා දීග කෑ පස්දරු මවක් ඇගේ සැමියා ඇතුළු දරුවන් විසින් නැවත භාර ගැනීමේ සිද්ධියක් මිනුවන්ගොඩ පොලිසියේ දී අනාවරණය විය.

ඇය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පස්දරු මවකි. ඇගේ සැමියා 49 හැවිරිදි අයෙකි. ගොවිතැනින් ජීවිකාව ගෙනයෑමට නොහැකි නිසා මීට වසරකුත් මාස අටකට පෙර ඇය ඕමාන් රටේ රැකියාවකට ගොස් තිබේ. ඇය විදෙස්ගත වීමෙන් අනතුරුව මව් රැකවරණය නොලැබීම හේතුවෙන් ඇගේ දියණියන් දෙදෙනකු අතවරයන්ට ලක් වී ඇති බවටද පොලිසියේදී සඳහන් විය.

ඇය ඕමාන් රටේ සේවය කරන අතරවාරයේදී මිනුවන්ගොඩ අවට ප්‍රදේශයක පදිංචි 28 හැවිරිදි තරුණයකු සමග මුහුණුපොත ඔස්සේ පෙම් පටලැවිල්ලක් ඇතිකරගෙන තිබේ. ඇය විවාහක පස්දරු මවක් බවට තරුණයාට පවසා තිබුණේ නැත. ඉකුත් පෙබරවාරි මාසයේදී ඕමාන් රටෙන් ලංකාවට පැමිණ ඇති මෙම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයාගේ නිවසට පැමිණ ඔහු සමග පවුල් ජීවිතය ගතකර ඇති බව පොලිසියේ දී අනාවරණය විය. පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ඇගේ සැමියා සහ දරුවන් සිද්ධිය අනාවරණය කරගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත පැමිණ කරන ලද පැමිණිල්ල මත එම පස්දරු මව සහ තරුණයාව පොලිස් ස්ථානය වෙත ගෙන්වා සිදුකළ පරීක්ෂණයේදී ඉහත තොරතුරු අනාවරණය විය.

මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමණී මහත්මිය දෙපාර්ශ්වයටම ඉදිරිපත් කළ කරුණු කාරණාවලින් අනතුරුව සැමියා තම බිරිඳවත්, දරුවන් තම මවත් භාර ගැනීමට කැමැත්ත පළකර සිටි අතර තමා සමග පවුල් කන කාන්තාව විවාහක පස්දරු මවක් බව දැනගැනීමෙන් අනතුරුව තරුණයාද එම කාන්තාව සැමියාට සහ දරුවන්ට භාරදීමට කැමැත්ත පළකර සිටීමෙන් අනතුරුව දෙපාර්ශ්වය වෙන් වෙන්ව පොලිසියෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment