ඩොලර් හිගය මැද කනෙන් රිංගා ඇපල්, දොඩම්, මිදි, චොකලට්, චීස්, පැස්ටා රසකැවිලි පලතුරු පිටරටින් ගලයි – දේශීය නිෂ්පාදකයා හාන්සියි

738

රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් චොකලට්, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, සහ මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් දැන් මෙරටට ආනයනය කරමින් තිබේ.

මේ අමාරු අවස්ථාවේ අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය තවත් බලවත් වීමට මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේතුවක් වී ඇති බැවින් වහාම මෙවැනි ආනයන සීමා කිරීමට රජය පියවර ගත යුතු බව ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ රජයෙන් ඉල්ලා සිටිති.

ඩොලර් හිගය මැද කනෙන් රිංගා ඇපල්, දොඩම්, මිදි, චොකලට්, චීස්, පැස්ටා රසකැවිලි පලතුරු පිටරටින් ගලයි - දේශීය නිෂ්පාදකයා හාන්සියි

ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට රටේ පවතින සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීම ඉතා අහිතකර බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙවැනි භාණ්ඩ රැුසක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා මහබැංකුව මීට කලකට පෙර ඒ සඳහා විවෘත කරන ණයවර ලිපි සඳහා සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට නියමයක් පැනවූ අතර එය පසුව මහබැංකුව විසින් මෑතදී ඉවත් කරන ලදී.

එම පියවර මෙවැනි අත්‍යවශ්‍ය නොවන ආනයන වර්ධනය වීමට හේතුවක් වී ඇති බව ද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ කියති.

ඉතා උසස් වර්ගයේ චොකලට් වර්ග, චීස් වර්ග, වෙනත් රසකැවිලි නිෂ්පාදන සහ එළවළු සහ පලතුරු ද දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බවත් ඒවාට මේ අවස්ථාවේ ඉඩදිය යුතු බවත් ඔවුහු සඳහන් කරති.

මෙසේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නිසා අපේ සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය විදේශ නිෂ්පාදකයින් වෙත ඇදී යෑම අපේ ඩොලර් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වීමට මෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඩොලර් හිඟයක් ඇති වීමට ද හේතුවක් වී ඇති බව ද ඔවුහු සඳහන් කරති.

මේ අනුව දේශීය ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කළත් රටේ පවතින ඩොලර් හිඟය නිසා ඒවා වරායෙන් නිදහස් කර ගැනීමට දින ගණනාවක් ගත වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ නිසා වරායෙන් භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීමට ප‍්‍රමාද වන දින සඳහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන වියදම් තවත් ඉහළ යෑමට හේතුවක් වී ඇති අතරම කලට වේලාවට අමුද්‍රව්‍ය නොලැබීම නිසා කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ද බාධාවන් ඇති වේ. මෙය දේශීය ව්‍යාපාරවල සහ කර්මාන්තවල වැඩ කරන සේවකයින්ගේ රැුකියාවලට ද අවදානමක් මතු කර තිබේ.

මේ වසරේ (2021) පළමු මාස 9 දී ඇමරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගිය විශාල වෙළෙඳ හිඟයක් ද නිර්මාණය වී ඇත. මේ සඳහා අපනයන ආදායම වැඩි වීමේ වේගයට වඩා වැඩි වේගයකින් ුආනයන වියදම් වර්ධනය වීමට හේතු වී ඇති අතර මෙය අපගේ විදේශ විනිමය පීඩනය තවත් වර්ධනය වීමට හේතුවක් වී ඇත.

විශේෂයෙන් කැන්ඩොස්, රිට්ස්බරි, සෙලර්ස් වැනි උසස් මට්ටමේ චොකලට් වර්ග සහ හයිලන්ඞ්, කොත්මලේ සහ පැලවත්ත වැනි ආයතන චීස් සහ වෙනත් කිරි ආහාර වර්ග ද දේශීය වශයෙන් නිෂ්පාදනය කරමින් තිබේ. ඒ නිසා මෙවැනි නිෂ්පාදන ආනයනය සීමා කරමින් මේ අවස්ථාවේ දේශීය නිෂ්පාදකයින්ට හා කර්මාන්තකරුවන්ට රජය වඩාත් අතදිය යුතු බව ද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ තවදුරටත් රජයට අවධාරණය කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment