ඩොලර් හිඟය අස්සේ කෝටි 15ක සැප වාහන ඇවිත්

654

එක්සත් රාජධානියේ සිට නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ, එරට භාවිත කරන ලද, රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 5ක් ඔරුගොඩවත්ත ඍඔත්‍ රේගු අංගනයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් ඊයේ (23වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

වාහන අමතර කොටස් ගෙන්වන බවට ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කරමින් බහාලුම් 2ක ගෙන්වා තිබූ මෙම වාහන ඊයේ (23වැනිදා) පස්වරුවේ රේගු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන ලද අතර එහිදී මෙම වාහන අත්අඩංගුවට ගෙන තිබේ. මර්සිඩීස් බෙන්ස්, මේබැච්, අවුඩි, බී.එම්.ඩබ්ලිව්. හා ෆියට් වර්ගයේ මෝටර් රථ මෙම බහාලුම් තුළ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

මේ අතර ඩුබායි රාජ්‍යයේ සිට පෞද්ගලික පරිහරණය සඳහා භාණ්ඩ ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරටට ගෙන්වා තිබූ තවත් බහාලුමක් රේගු නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම බහාලුම තුළ විස්කි බෝතල් දහසකට වැඩි ප්‍රමාණයක් හා ලයිටර්, වාහන එන්ජින් ඔයිල් ඇතුළු ද්‍රව්‍ය තිබූ බවත් පැවසූ සුදත්ත සිල්වා මහතා ඒ පිළිබඳ විමර්ශන ඊයේ පවස්වරු වන විටත් සිදුකෙරෙමින් පැවති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment