ඩොලර් හිඟය දේශීය නිෂ්පාදන වැඩි කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් වගේම ආශීර්වාදයක් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

146

රටේ මේ දිනවල පවතින ඩොලර් හිඟය දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් ප‍්‍රචලිත කිරීමට අපිට ලැබුණ කදිම අවස්ථාවක් හා ආශීර්වාදයක් ලෙස සලකා කටයුතු කළ යුතු යැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කන්තලේ දී ප‍්‍රකාශ කළාය.

කන්තලේ විවිධ සේවා සමූපකාරය යටතේ ඉදිකළ නව සුපිරි කෝප්සිටිය විවෘත කරමින් ඇය මෙලෙස අදහස් දැක්වූවාය.

ඩොලර් හිඟය නිසා අපේ රටට අත්‍යවශ්‍ය කරන අත්‍යවශ්‍ය නොවන සියල්ල නතර වන බව සඳහන් කළ ආණ්ඩුකාරවරිය, 1877 සිටම අපි ණයට අරගෙන කාපු ජාතියක්. දැන් මේ ඩොලර් අර්බූදය නිසා රටට එන්නේ අත්‍යවශ්‍ය දේ පමණයි. ඒ අනවශ්‍ය කිසි දෙයක් ආනයනය නොවන නිසා. දැන් අපි අපේ රටේම පුළුවන් සියල්ල නිෂ්පාදනය කරමු. මෙය අපි ආශිර්වාදයක් කර ගනිමු, යැයි පැවසුවාය.

වත්මන් රජයේ සංවර්ධන වැඩසටහනට විශාල බාධාවක් වූයේ කොවිඩ් වසංගතයයි. මේක හැම රටකටම බලපෑවා. හැබැයි උද්ඝෝෂණ කළේ මෙහෙ විතරයි. මේ වසංගත කාලයේ රට වහපු වෙලාවේ සමූපකාර සේවය රටට විශාල සේවයක් කළ බව අපි අමතක නොකළ යුතුයි. අපේ පළාතේ සෑම සමූපකාර සමිතියක්ම ජංගම වෙළෙඳ රථ යොදාගෙන සහනදායී බඩු මලූ ජනතාවට ළඟටම ගොස් බෙදා දුන්නා. මේ වෙළෙඳසල් ජාලාව තව තවත් පුළුල් කරලා අපේ නැවුම් දේශීය නිෂ්පාදන අළෙවි කිරීමට අපි කටයුතු කරමු යැයි ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා ය.

මෙම අවස්ථාවට ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කපිල නුවන් අතුකෝරළ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගිවී සිටියහ.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment