ඩොලර් 15,000 කට වඩා ළඟ තබා ගත්තොත් දඩ: බැංකුගත කරන්න සති දෙකක් කල් දෙයි

478

ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයකුට හෝ ආයතනයකට තමා සන්තකයේ තබාගත හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඉක්මවා විදෙස් විනිමය තබා ගතහොත් ඒ සඳහා විදේශ විනිමය පනත ප්‍රකාරව දඩ පැනවීමට තීරණය කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා ඇමෙරිකානු ඩොලර් 15,000 ඉක්මවා තමා සතුව විදේශ විනිමය ඇත්නම් ඒවා බැංකුගත කරන ලෙස සහ බැංකුවෙන් රුපියල්වලට මාරුකර ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ සඳහා සති දෙකක කාලයක් අදාළ විදේශ විනිමය සන්තකයේ තබාගෙන සිටින අයට ලබාදීමට නියමිත අතර මේ සඳහා වන චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය මගින් ඉතා ඉක්මණින් නිකුත් කිරීමට නියමිත බව ආචාර්ය වීරසිංහ මහතා කීවේය.

මෙසේ විදේශ විනිමය අතේ තබාගත හැකි උපරිම සීමාව ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව අදාළ සති දෙකේ කාල සීමාවෙන් පසු ළඟ තබාගත හැකි උපරිම විදේශ විනිමය සීමාව ඉක්මවා විදේශ මුදල් ළඟ තබා ගැනීම නීති විරෝධී වන අතර ඒ සඳහා විදේශ විනිමය පනත ප්‍රකාරව දණ්ඩනවලට යටත් වීමට සිදුවනු ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment