ඩොලර් 199ට ගල්අඟුරු දෙන්න පුළුවන් නම් වහාම එන්න – ලංකා ගල්අඟුරු සභාපති

114

ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදිය හැකි නම් වහාම ඉදිරිපත් වන ලෙස ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ඊයේ (13 දා) ඉල්ලීමක් කළේය.

ගල්අඟුරු ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට සැපයුම්කරුවන් 09 ක් ඉදිරිපත් වී සිටියත් ඒ කිසිවකු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදිය හැකි බවට ප්‍රකාශ කර නොතිබූ බව ද ඒ මහතා කීය.

ඩොලර් මිලියන 72 ක ගල්අඟුරු ලබාගැනීම සඳහා ගල්අඟුරු සමාගමට ටෙන්ඩර් කැඳවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ගල්අඟුරු ලබාගත නොහැකි බවත්, ටෙන්ඩරයට ඉදිරිපත් නොවී පසුව ලිපි එවීම හෝ විවිධ පාර්ශ්ව ලවා ප්‍රකාශ කිරීමෙන් ප්‍රායෝගික පිළිතුරක් ලබාදිය නොහැකි බවත් ඔහු කීය.

2022 ට අදාළ ටෙන්ඩර් කැඳවීම අහෝසි වී තිබෙන බවත් ඉදිරියේදී නැවත ටෙන්ඩර් කැඳවීමක් කරන බවත් ඩොලර් 199ට ගල්අඟුරු ලබාදිය හැකි බව කියන පිරිස ණය පදනම මත ලබාදීමට ටෙන්ඩරයට ඉදිරිපත් වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

දැනට ගල්අඟුරු මිලදී ගන්නේ 2021 වසරට අදාළ ටෙන්ඩරයට බවත් එම ටෙන්ඩරයට අදාළව බලාගාරයට ගල්අඟුරු රැගෙන පැමිණි නැව් දෙකකට ඊයේ (13 දා) වනවිටත් මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවත් ඒ මහතා පැවසීය. මීට අමතරව තවත් නැව් කිහිපයක් දැනට ශ්‍රී ලංකාව වෙත ගමන් කරමින් සිටින බවත් එම ගල්අඟුරු නැව්වලට මුදල් සොයා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ගල්අඟුරු සමාගම දැඩි ප්‍රයත්නයක නිරත වී සිටින බවත් ඔහු කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment